ජනපති මහින්ද චිලි-භූතාන රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා

ජනපති මහින්ද චිලි-භූතාන රාජ්‍ය නායකයන් සමඟ සාකච්ඡා

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා චිලි රාජ්‍යයේ ජනාධිපති සෙබස්තියන් පිනෙරා එචිනික් හා භූතාන අගමැති ජිග්මි තින්ලේ මහත්වරුන් සමග බ්‍රසීලයේ රියෝද ජැනීරෝ නුවරදී ද්විපාර්ශවීය සාකච්ඡා පැවැත්වීය.

රියෝ + 20 පරිසර සමුළුවට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා බ්‍රසීලයට ගිය අතරවාරයේ දී මේ නායකයන් සමඟ සාකච්ඡා කළ අතර යුද ජයග්‍රහණයෙන් පසුව ශ්‍රී ලංකාව එක් එක් අංශයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළහ.

රාජ්‍ය නායකයන් දෙපළ මෙහිදී ඉතා සුහද කතා බහක නිරත වූහ. චිලි රාජ්‍යයේ ප්‍රචලිත ටින් මාළු කර්මාන්තය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කථා බහට ලක් වූ අතර එම තාක්ෂණ දැනුම ශ්‍රී ලංකාවේ ද යොදා ගැනීමේ හැකියාව පිළිබඳ අවධානය යොමු කළහ. යම් යම් පිරිස් ශ්‍රී ලංකාව පිළිබඳ ජාත්‍යන්තරයේ ගෙන යන වැරැදි ප්‍රචාර පිළිබඳව චිලි රාජ්‍ය නායකයා දැනුවත් කිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළ අතර ශ්‍රී ලංකාවේ සැබෑ තත්ත්වය සියැසින් දැක බලා ගැනීමට නොබෝ දිනකදීම ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ යැයිද ඇරයුම් කළේය.

වසර 30 ක් සමාජ, ආර්ථික, සංස්කෘතික විනාශයක් සිදු කළ එල්ටීටීඊ ත්‍රස්තවාදය පලවා හැරීමෙන් පසු අද ශ්‍රී ලංකාව සංවර්ධනය කරා සාර්ථකව ගමන් කරමින් සිටින බවද මෙහිදී චිලි ජනාධිපතිවරයාට පෙන්වා දුන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එල්ටීටීඊ ය පැවැති ප්‍රදේශවල ජනතාවගේ ජන ජීවිතය නැවත ගොඩනැඟීමට රජය සිදු කළ කැපවීම් පිළිබඳවද සිහිපත් කළේය.

ශ්‍රී ලංකාවේ සිදු වූයේ ජාතියක් තවත් ජාතියකට එරෙහිව කටයුතු කිරීම නොව රටම විනාශ කළ දරුණු ත්‍රස්තවාදයට එරෙහිව කටයුතු කිරීම බවද මෙහි දී පැවසූ ජනාධිපතිවරයා ත්‍රස්තවාදය පරාජය කර දැමීමෙන් පසු රටේ සියලු ජාතීන්ට එකට එක්ව සතුටින් ජීවත්වීමට අවස්ථාව උදා වී ඇති බව පෙන්වා දුන්නේය.

චිලි ජාතික කවියකු වන පැබ්ලෝ නෙරූෂා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අවස්ථාවේ ශ්‍රී ලංකාව පිළිබඳ ලියන ද කවි පිළිබඳවද මෙහිදී ජනාධිපතිතුමා චිලි ජනාධිපතිවරයාට සිහිපත් කර සිටියේය. ඇමැති විමල් වීරවංශ මහතා සහ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

ඉන් අනතුරුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ භූතාන අගමැති ම්ග්මේ තින්ලේ මහතා අතර සාකච්ඡා ඇරඹිණි.

එක්සත් ජාතීන්ගේ සංවිධානය ‘සතුට’ පිළිබඳ පවත්වන ලද සැසියකින් අනතුරුව සතුට පිළිබඳ ජාතික දර්ශකයක් භූතානයේ ක්‍රියාත්මක වන බව භූතාන අගමැතිවරයා මෙහි දී ජනාධිපතිතුමා සමඟ පැවසූ අතර ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යාංශය සම්බන්ධකර ගනිමින් භූතාන රජයේ ද සහාය ඇතිව එවැනි දර්ශකයක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට සාකච්ඡා කළහ.

භූතානගේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් ද භූතාන අගමැතිවරයා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනුවත් කළේය. තරුණයන් දේශපාලනය වෙත පැමිණීමේ වැඩි ප්‍රවණතාවයක් අද ශ්‍රී ලංකාවේ සේම භූතානයේ දක්නට ලැබෙන බව භූතාන අගමැතිවරයා පැවසූ අතර එය ඉතා සුබවාදී ලක්ෂණයක් බව කියා සිටියේය.

භූතාන ජනාධිපතිවරයා වෙනුවෙන් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් පිරිනැමීමටද මෙහිදී භූතාන අගමැතිවරයා කටයුතු කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා