තිරසාර සංවර්ධනයේ සුබවාදී ප්‍රතිඵල ශ්‍රී ලංකාව අද අත්කරගෙන තිබෙනවා

තිරසාර සංවර්ධනයේ සුබවාදී ප්‍රතිඵල ශ්‍රී ලංකාව අද අත්කරගෙන තිබෙනවා

මිහිකත සමුළුව අමතමින් ජනපති කියයි

මීට වසර දෙසීයකට පෙර සිට තිරසාර සංවර්ධනය පිළිබද සංකල්පය ක්‍රියාවට නැංවූ ශ්‍රී ලංකාව ඒ තුලින් කැපී පෙනෙන ප්‍රතිඵල අත් කරගෙන තිබෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කරයි.

ශ්‍රී ලංකාවේ පුරාණ රාජධානි විසින් නිර්මාණය කරන ලද කෘෂිකාර්මික ආර්ථික කළමනාකරණය, විනය ගරුක සමාජය හා ආර්ථික සංවර්ධනය සමඟ දැඩි ලෙස බද්ධ වූවක් බව පෙන්වාදෙන ජනාධිපතිවරයා අපේ මුතුන් මිත්තන් අනුගමනය කළ මෙම සුසංගත භාවිතය හේතුවෙන් පාරිසරික හා ආර්ථික තිරසාරත්වය සේම සමාජ හා දේශපාලන ස්ථාවරත්වය ලබා තිබෙන බවද ඒ මහතා පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බ්‍රසීලයේ රියෝ ද ජනයිරෝ නගරයේදී පෙරේදා (20) ආරම්භ වූ ලෝක පරිසර සමුළුව හෙවත් මිහිකත සමුළුව අමතමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, පාරිසරික අර්බුදය ආමන්ත්‍රණය කිරීමේ කටයුත්ත සංවර්ධන වෙමින් පවතින රටවලටම දරා සිටීමට නොහැකි බවත් පාරිසරික අර්බුදයට එදා දායක වූ හා තවමත් දායක වෙමින් සිටින සංවර්ධිත රටවල් තම ආර්ථික සංවර්ධනයේ වියදමින් සංවර්ධනය වෙමින් පවතින රටවලට පරිසරය බේරා දීමේ වගකීම පැහැරහැරිය නොහැකිවාක් මෙන්ම ඔවුන් එය පැහැර නොහැරිය යුතු බවත්ය.

හරිත ආර්ථිකයකට මාරුවීම සිත් ඇදගන්නා සුළු වුවද එය තිරසාර නොවූ පරිභෝජනය හා නිශ්පාදන ක්‍රියා අවම කිරීමට හැකි බොහෝ මෙවලම්වලින් එකක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා හරිත ආර්ථිකයකට මාරුවීම රටක සමාජ හා ආර්ථික සංවර්ධනය හින කිරීමට තුඩු දෙන අසුබවාදී ප්‍රතිඵල ඇති නොකළ යුතු බවද සඳහන් කළේය. මේ නිසා තිරසාර සංවර්ධනය සඳහා විසඳූම දරිද්‍රතාව දුරලීම, සම්පත් හා බලශක්ති කාර්යක්‍ෂමතාව, සියලු ජනතාව සඳහා සමානතාව හා වඩා හොඳ ජීවන තත්ත්වයන් සමඟ එක් කළ යුතු යැයි පෙන්වාදුන් මහින්ද රාජපක්ෂ මහතා මෙයට විසි වසරකට පෙර එනම් 1992 දී බ්‍රසීලයේ රියෝ ද ජනෙයිරෝ නගරයේදී පවත්වන ලද පරිසරය හා සංවර්ධනය පිළිබඳ ඵෙතිහාසික සම්මේලනයට වසර 20 ක් සැපිරීම සිහිගන්වමින් 2012 සමුළුව රියෝ + 20 ලෙස නම් කොට තිබෙන බවද ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ වත්මන් ප්‍රගතිය සම්බන්ධයෙන් අදහස් පළකළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ රටේ යටිතල පහසුකම් ශීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් හා ආයෝජන අවස්ථා විශාල වශයෙන් වැඩි වෙමින් පවතින නිසාවෙන් ශ්‍රී ලංකාව අද වන විට අපනයනය මඟින් මෙහෙයවන වෙළඳාම හා වානිජ ව්‍යාපාර සඳහා දැනුම පදනම් කරගත් කලාපීය කේන්ද්‍රයක් බවට පත්වී තිබෙන බවය.

ඊට අමතරව අපි මේ සියලු ආර්ථික සාර්ථකත්වයන් අත් කරගෙන සිටින්නේ පරිසර සංරක්‍ෂණය ආරක්‍ෂා කරන අතරතුර බවත් එහි ප්‍රතිඵලයක් ලෙස වසරකට ටොන් 0.6 ක් වන අපගේ ඒක පුද්ගල කාබන් දහනය බොහෝ රටවල් හා සසඳන විට ඉතා සුළු අගයක් බවත් පැවසූ ඒ මහතා අපේ සංවර්ධන ආකෘතිය පරිසරයට ගරු කරන, අපෙන්ම හැදුණු ආකෘතියක් බවද ප්‍රකාශ කළේය.

රියෝ + 20 සමුළුව සඳහා ලෝක නායකයෝ රැසක් සමඟ විවිධ සංවිධාන රැසක නියෝජිතයන්, පෞද්ගලික අංශයේ සාමාජිකයන්, රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයන් සහ වෙනත් විවිධ අංශවලට අයත් නියෝජිතයන් දහස් සංඛ්‍යාත පිරිසක් මෙවර සහභාගී වී සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා