කනක් ඇතුළත දූවිලි මයිටාවන් වර්ධනයවීම පළමු වරට හඳුනා ගැනේ

කනක් ඇතුළත දූවිලි මයිටාවන් වර්ධනයවීම පළමු වරට හඳුනා ගැනේ

පුද්ගලයකුගේ කණක් ඇතුළේ දූවිලි මයිටාවන් වර්ධනයවීමේ අවස්ථාවක් ප්‍රථම වතාවට හඳුනාගෙන ඇති බව බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනය පවසයි. Dermatophagoids Pteronyssimus- House dust mite නමැති මේ මයිටාවා දූවිලි සහිත පරිසරයේ නිතර දැකගත හැකි වුවත් උන් පුද්ගලයකුගේ කණක් ඇතුළේ ජීවත්වන ආකාරය සොයාගත් පළමු අවස්ථාව මෙය බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය අනිල් සමරනායක මහතා පවසයි.

කළුතර ප්‍රදේශයේ පදිංචි හතළිස් අටහැවිරිදි නිරෝගී පුද්ගලයකුගේ කණේ සිටියදී මේ මයිටාවන් හමුවී තිබේ. කණේ ඇතිවූ අපහසුතාවක් හේතුවෙන් මේ පුද්ගලයා කළුතර රෝහලේ කණ, නාසය, උගුර පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගෙන තිබේ. ඔහුගේ කණ පරීක්ෂා කර බැලීමේදී එහි සුදු පැහැති කුඩු වැනි යමක් තිබෙනු දැක ඇති වෛද්‍යවරයා ඒවායේ නිදර්ශකයක් වැඩිදුර පරීක්ෂණ සඳහා වෛද්‍ය පර්යේෂණායතනය වෙත යවා තිබේ. අන්වීක්ෂ මඟින් ඒවා පරීක්ෂා කිරීමේදී මිලිමීටරයකින් සියයකින් පංගුවක් පමණ වූ විශාලත්වයෙන් යුත් දූවිලි මයිටාවන් තිහක් හතළිහක් පමණ සොයාගෙන තිබේ.

මේ මයිටාවන් අතර වැඩුණු මයිටාවන් මෙන්ම පැටවුන්ද, බිත්තර ද තිබී ඇති බැවින් මේ පුද්ගලයාගේ කණ ඇතුළේ කලක් තිස්සේ ජිවත් වෙමින් පැටවුන් බෝකරමින් සිට ඇති බව හෙළිවන බවද වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

මේ දූවිලි මයිටාවා සම්බන්ධයෙන් කිසිසේත් බියක් ඇතිකරගත යුතු නැති බවත්, සිරුරේ කිසිදු ඉන්ද්‍රියකට හානිකිරීමේ හැකියාවක් ඌට නොමැති බවත් ඒ මහතා පැවසීය. මේ මයිටාවා ජංගම දුරකථනවල සිට හමුවූ මයිටාවා බවට හඳුනාගත හැකි කිසිදු සාධකයක් මෙතෙක් හමුවී නොමැති බවත්, මේ පුද්ගලයාගේ කණට උන් ඇතුළුවී ඇත්තේ කුමන ආකාරයෙන්ද යන්න පිළිබඳ තවමත් සොයාගෙන නැති බවත්, හෙතෙම පැවැසීය. මේ සම්බන්ධයෙන් වෛද්‍ය පර්යේෂණ ආයතනය වැඩිදුර පර්යේෂණ පවත්වන බවද කීය.

දූවිලි මයිටාවා සම්බන්ධයෙන් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයේදී මාධ්‍ය වෙත ඊයේ (21) අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා