ඉසෙඩ් ස්කොර් සහ අපේ ළමයි!

ඉසෙඩ් ස්කොර් සහ අපේ ළමයි!

රටේ පවත්නා අධ්‍යාපනය, විභාග ක්‍රමය හා විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරාගැනීමේ ක්‍රමවේදය ද අවුල් සහගත බව අප විසින් පිළිගත යුතුව තිබේ. 2011 අ. පො. ස. උසස් පෙළ ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, විභාග පැවැත්වීම, ප්‍රතිඵල නිකුත් කිරීම හා විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරාගැනීමේ ක්‍රමවේදය නිරීක්‍ෂණය කරන කල එම තත්ත්වය හොඳින් පැහැදිලි වේ. එක ම විභාගයට විෂය නිර්දේශ දෙකක් යටතේ සිසුහු දෙවර්ගයක් ඉදිරිපත් වූහ. විභාගය දෙකට කඩා පැවැත්වීමට සිදු විය. ප්‍රතිඵල නිකුත් කිරීම ප්‍රමාද විය. විශ්වවිද්‍යාලවලට තෝරාගැනීම සඳහා වර්ග දෙකට ම පොදු සංඛ්‍යානමය ක්‍රමවේදයක් අනුගමනය කැරිණි. එම ප්‍රතිඵලය බොහෝ දෙනා නො පිළිගත්හ. පිරිසක් නඩු මඟට ගියහ.

අධ්‍යාපන අමාත්‍යාංශය, උසස් අධ්‍යාපන අමාත්‍යාංශය, විභාග දෙපාර්තමේන්තුව, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම යන සියලු ආයතන මේ අවුලට වගකිව යුතු ය. එකිනෙකාට ඇඟිල්ල දිගු කිරීමෙන්, වාද – විවාද පැවැත්වීමෙන්, කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කිරීමෙන් පලක් නැත. 2011 උ. පෙ. විභාගය සඳහා සිසුහු දෙලක්‍ෂ හතළිස් තුන්දහස් අටසිය හැත්තෑ අටක් දෙනා පෙනී සිටියහ. ඔවුන්ගේ ජීවිත කඩඉමක් සේ සැලැකිය හැකි මේ විභාගයේ ප්‍රතිඵලය යුක්ති සහගත හා සාධාරණ පිළිවෙළකට ලබාදීමටත් ඒ අනුව ක්‍රියා කිරීමටත් ඉහත ආයතන වගබලා ගත යුතු ය.

මේ අවුලට මුල් වූ ප්‍රධාන සාධකයක් වන “ඉසෙඩ් ස්කෝර්” ක්‍රමය බෙහෙවින් සංකීර්ණ ය. සාමාන්‍ය ජනතාවට තේරුම් ගත නො හැකි ය. එබැවින් එහි විනිවිදභාවයක් නැතැ’ යි කෙනකු තර්ක කරන්නට පුළුවන. මීට වසර තිහ – හතළිහකට පෙර විශ්වවිද්‍යාලවලට සිසුන් තෝරාගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් මතුවූයේ නැත. එදා භාවිත වූයේ සරල හා විධිමත් ක්‍රමෝපායකි. විභාගය සමත්වීම හා ඒ ඒ විෂයයන් සඳහා ඉහළ ම ලකුණු ලබාගැනීම එදා නිරීක්‍ෂණය කළ සුදුසුකම විය. පසුව ඇති කරන ලද ප්‍රමිතිකරණය වැනි ක්‍රමවේදයන් නිසා තත්ත්වය තරමක් අවුල් සහගත විය. අද වන විට අවුල තවදුරටත් උග්‍ර වී තිබේ.

2011 වසරේ උ. පෙ. “ඉසෙඩ් ස්කෝර්” ලකුණු ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගය මත අහෝසි කැරිණි. ඒ පළමුව නිකුත් කළ ඉසෙඩ් ස්කෝර් ප්‍රතිඵලය ‍ෙශ්‍ර්ෂ්ඨාධිකරණයේ නියෝගය වූයේ නව හා පැරණි නිර්දේශ සිසුන්ගේ ඉසෙඩ් ලකුණු වෙන - වෙන ම ගණනය කොට නැවත එක ලැයිස්තුවක් යටතේ දක්වා පිළිගත හැකි ක්‍රමවේදයකට අනුව විශ්වවිද්‍යාල සඳහා සිසුන් තෝරා ගත යුතු බව ය. නව ඉසෙඩ් ලකුණු දින කිහිපයකට පෙර නිකුත් විය. මුල දී දිස්ත්‍රික්කයෙන් හතළිස් පස්වැනියා වූ කෙනකුට දැන් ලැබී ඇත්තේ දෙසිය හතළිස්වැනියා වීමට පුළුවන. මුළු දිවයිනෙන් ම කලා අංශයෙන් දෙවෙනි තැනට පත් ශිෂ්‍යාව දැන් පළමු තැනට පත් ව ඇති බවක් ද වාර්තා වී තිබිණි.

තරුණ මන්ත්‍රීවරයකු වන නාමල් රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඇත්තේ විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගන්නා සිසුන්ගේ ප්‍රමාණය වැඩි කරන ලෙස ය. එලෙස ම කිසිදු ශිෂ්‍යයකුට හෝ ශිෂ්‍යාවකට හෝ අයුක්තියක් නො වන අයුරින් ගැටලුව විසැඳීමට ඉදිරිපත් වන්නැ’ යි ද මන්ත්‍රීවරයා රටේ නායකයාගෙන් ඉල්ලා සිටියේ ය. ජනාධිපතිවරයාගේ උපදේශය මත නැවත විභාගයට ඉල්ලුම් කළ හැකි කාල සීමාව දීර්ඝ කර තිබේ. විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම සඳහා නැවත ඉල්ලුම් කළ හැකි අවස්ථාවක් ද ලැබී තිබේ.

අපට මෙහිදී එක් දෙයක් සිහිපත් වේ. එනම්; රටේ ගැටලු විසැඳීම සඳහා හැම විට ම ජනාධිපතිවරයා ම මැදිහත් විය යුතු බව ය. ඒ අතින් බලන විට මේ රටේ බොහොමයක් අමාත්‍යාංශ අකාර්යක්‍ෂම ය. බොහොමයක් ආයතන අකාර්යක්ෂම ය. ඇතැම් ඇමැතිවරුන්ගේ තීන්දු – තීරණ නිවැරැදි නැත. නිලධාරීන්ගේ ක්‍රියා පිළිවෙත් සාධාරණ නැත. පසුගිය වසර කිහිපය පිළිබඳ සමීක්‍ෂණයක් කළහොත් පැහැදිලි වන ප්‍රධාන කාරණය වන්නේ බොහොමයක් ගැටලු ආයතන ප්‍රධානීන් විසින් ඇතිකරනු ලද බව ය. ජනාධිපතිවරයාට විසඳන්නට බොහෝ ගැටලු තිබේ. නිරීක්‍ෂණය කරන්නට බොහෝ ක්ෂේත්‍ර තිබේ. මේ හැරෙන්නට සියලු ප්‍රශ්න රටේ නායකයා වෙත යොමු කළහොත් ඔහුට සිය කාර්යයන් නිසි පරිදි කරගෙන යා හැකි නො වේ.

රටක අධ්‍යාපනය එකිනෙක පුද්ගලයන්ගේ මතවාද හා අදහස් අනුව වෙනස් කළ හැකි දෙයක් නො වේ. ඊට ජාතික ප්‍රතිපත්තියක් තිබිය යුතු ය. ඇමැතිවරුන් වෙනස් වන විට අධ්‍යාපනය වෙනස් වේද; ආණ්ඩු වෙනස් වන විට අධ්‍යාපනය වෙනස් වේ ද එතැන ජාතික ප්‍රතිපත්තියක් නැත. අධ්‍යාපනය සම්බන්ධයෙන් සිදු කරන යහපත් වෙනසකට වුව දීර්ඝ කාලයක් මිඩංගු කළ යුතු ය. ක්ෂණික ව ඇති කරනු ලබන වෙනසකින් සමස්ත ක්‍රමය ම අවුල් විය හැකි ය. දැන් මතු වී ඇති අවුල ද එකවර විසැඳිය නො හැකි ය. කළ හැක්කේ යම් සාධාරණයක් ඇතිකිරීම සඳහා ක්‍රියාත්මක වීම පමණි.

අධ්‍යාපනය සම්බන්ධයෙන් දිනපතා ඉදිරිපත් වන විවේචන ද ඒ හැටි යුක්ති සහගත නැත. ඇතැම් විවේචනයක ඇත්තේ දේශපාලන වෛරය යි. තවත් විවේචනයක ඇත්තේ වෘත්තීය සමිතිවල අරමුණු හා ඉලක්ක දිනාගැනීමේ සාධක ය. අධ්‍යාපනය ගැන විවේචන ඉදිරිපත් කරන බොහෝ දෙනකුට එම විෂය පිළිබඳ නිශ්චිත අවබෝධයක් නැත. අධ්‍යාපනය ගැන ලියන – කියන බොහෝ දෙනකුට ද එම විෂය පිළිබඳ පුළුල් වැටහීමක් නැත. ඒ නිසා ම අධ්‍යාපනයේ අවුල තවදුරටත් ව්‍යාප්ත වේ. මෙය ආණ්ඩුවේ සැලැකිල්ලට ලක්විය යුතු තත්ත්වයකි.

අමෙරිකානු මනෝ විද්‍යාඥයකු වූ කාල් රොජර්ස් මිනිස් ස්වාභාවය ගැන සඳහන් කරමින්; ඔහු සහජයෙන් යහපත් හා ඵලදායී වන බව පෙන්වා දෙයි. එහෙත් වැරැදි ඉගෙනුම් හා අයහපත් මැදිහත්වීම් නිසා පුද්ගලයා වියවුල් සහගත වන බව ද ඔහු පෙන්වා දෙයි. මෙයින් පාඩම් දෙකක් උගත හැකි ය. පළමුවන්න දරුවාට යහපත් අනාගතයක් උදා කරවන ජාතික අධ්‍යාපන ක්‍රමවේදයක් සකස් කළ යුතු බව ය. දෙවන්න අධ්‍යාපනය හසුරවන පුද්ගලයන් වැරැදි මැදිහත්වීම්වලට හා වැරැදි ඉගෙනුම්වලට නොයා යුතු බව ය. මේ සෑම කරුණකින් ම දේශපාලකයා යමක් උගත යුතු ය. එවිට අධ්‍යාපනයේ අවුල් - නිරවුල් වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා