මැතිවරණයට බිය වී උසාවි ගිය එජාපය යළි ඡන්දයට ඉදිරිපත්වීම දෛවයේ සරදමක්

මැතිවරණයට බිය වී උසාවි ගිය එජාපය යළි ඡන්දයට ඉදිරිපත්වීම දෛවයේ සරදමක්

පළාත් සභා හිටපු මන්ත්‍රී එස්.එම්.රංජිත්

මැතිවරණයට බිය වී අධිකරණයට ගිය එ.ජා.පය පළාත් සභා ඡන්දයට ඉදිරිපත්වීම දෛවයේ සරදමක් යැයි උතුරු මැද පළාත් සභා හිටපු මන්ත්‍රී හා එජනිස අපේක්ෂක එස්.එම්. රංජිත් මහතා පවසයි.

ඒ මහතා මේ අදහස් පළකෙළේ පසුගිය 24 දා ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභා සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති පක්ෂ ක්‍රියාකාරින්ගේ රැස්වීමකදී ය. රංජිත් මහතා එහි දී මෙසේ ද කීය.

මහින්ද රාජපක්ෂ රජය ප්‍රජාතන්ත්‍රවාදය හා මිනිස් නිදහස අගය කරනවා. එ.ජා.පයේ අපකීර්තිමත් පාලන කාලයේ ඡන්ද දායකයා ගේ හිසට ගිනි අවිය තබා බිය ගන්වා ඡන්ද පෙට්ටි උස්සා හොර ඡන්ද තොග පිටින් දැමූ ඉතිහාසය එ.ජා.පයට අමතක වුවත් මේ රටේ ජනතාවට අමතක නැත.

නිදහස් හා සාධාරණ ඡන්දයකින් කිසිදා ජයගත නොහැකි බව දන්නා එ.ජා.පය උතුරු මැද පළාත් සභාව විසුරුවා හැර මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරද්දී එ.ජා.ප. ය අධිකරණයට ගොස් මැතිවරණය එපා කියා නඩු කියා පරාජයට පත් වූ බව පැවසූ එස්.එම්.රංජිත් මහතා අධිකරණ තීන්දුවෙන් ලැබූ පරාජයම මෙවර පළාත් සභා මැතිවරණයෙන් ද ලබා දීමට ජනතාව සූදානමින් සිටින බවද පැවසීය.

ජාතියේ ඉදිරි ගමන උදෙසා ජීවිතය පරදුවට තබා තිස් වසරක කුරිරු ත්‍රස්තවාදය පරාජය කිරීමට රණවිරුවන්ට නායකත්වය දුන් ජනාධිපතිතුමා අද රට ගොඩනැගීමට ක්‍රියාත්මක කර ඇති දැවැන්ත සංවර්ධන වැඩ පිළිවෙළ අතරමග කඩාකප්පල් කර දැමීමට එ.ජා.පය හා ජ.වි.පෙ. උත්සාහ කළත් ජනතාව විසින් දේශපාලන කුණු කූඩයට වීසිකැර ඇති එම පක්ෂවලට යළි මේ රටේ දේශපාලන අනාගතයක් නැතැයි ද උතුරු මැද පළාත් සභාවට “පණ” ඇති අපේක්ෂකයන් කණ්ඩායමක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ එ.ජා.ප. ය මේ මැතිවරණයේ දී ද පසු ගිය මැතිවරණ විසි දෙකේ දී සේම අන්ත පරාජයට පත්වෙනු ඇති බව ද පැවසීය.

මෙහි දී ගොවි ජන සේවා හා වන ජීවි ඇමැති එස්.එම්.චන්ද්‍රසේන, කහටගස්දිගිලිය ප්‍රාදේශීය සභා සභාපති ගාමිණි විජේසේකර මහත්වරුද අදහස් දැක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා