ඩෙංගු දඩයම

ඩෙංගු දඩයම

මේ වන විට කියුබාව සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගන්නේ ඩෙංගු රෝගය උපයෝගී කර ගනමින්ය. නැත්නම් ඩෙංගු නාමය අලෙවි කරමිනි. එය සිදු වන්නේ කියුබාව ඩෙංගු රෝගයෙන් තොර රටක් බවට ප්‍රචාරයක් දෙමිනි. ”ඔබ ඩෙංගු රෝගය නැති රටකට පැමිණ විවේක ගන්න.” මෙය කියුබාවේ සංචාරක ආකර්ෂණය දිනා ගැනීමේ පාඨයක් වෙලා. මෙරටට සංචාරකයෝ කැඳවා ගැනීමට මෙවන් ආඩම්බර කතාවක් කීමේ හැකියාවක් අපට නැහැ. ඊට හේතුව වසරින් වසර ශ්‍රී ලංකාව ඩෙංගු රෝගීන් ගෙන් ගහන දේශයක් සේ ප්‍රකට වීමයි.

එහෙත් කලකට පෙර කියුබාව ද ශ්‍රී ලංකාව මෙන් ම ඩෙංගු රෝගීන් පිරුණු රටක්. එහෙත් අද කියුබාව එම ඩෙංගු රෝගී නැඹුරුව වෙනස් කර ගෙන තිබෙනවා. එසේ නම් අපට බැරි වුණේ ඇයි. කියුබාව කොමියුනිස්ට් පක්ෂයක් මඟින් පාලනය වන රටක්. එහි ඇත්තේ තනි පක්ෂ ආණ්ඩු ක්‍රමයක්. මේ නිසා යම් යම් නියෝග පැනවීමටත් එ්වා ක්‍රියාත්මක කර වීමත් පහසුයි. ඩෙංගු මදුරුවන් සමඟ සටන් කිරීමට බැක්ටිරියාවක් නිපදවීමට අමතරව මේ සඳහා එරට දැඩි නීතිරීති යොදාගනු ලැබුවා. ප්‍රධාන නගරය වන හවනාවේ මෙන්ම ඈත ප්‍රදේශයක වුව ද බැක්ටීරියාවට අමතරව දැඩි නීතිරීති හා එ්වා ක්‍රියාත්මක කරලීමේ ප්‍රායෝගික වැඩ සටහනක් ක්‍රියාත්මක වෙනවා.

මේ නිසා අද කියුබාව ඩෙංගුවලින් තොර දේශයක් වෙලා. එ් දේශයෙන් අපේ රටේ ඩෙංගු මර්දනයට ගෙනා බැක්ටිරියාවට කුමක් සිදු විනිද යන්න තවමත් අබිරහසක්. කියුබාවේ පනවා ඇති දැඩි නීතිරීති අපේ රටේ ක්‍රියාත්මක කරන්න බැහැ. ඊට හේතුව ශ්‍රී ලංකාව බහු පාක්ෂික ප්‍රජාතන්ත්‍රවාදී රටක් වීමයි. ”මේ නිසා දැඩි නීතිරීති ක්‍රියාත්මක කරන්න බැහැ.” දැඩි නීතිරිති කෙසේ වෙතත් පවතින නීති සම්බන්ධයෙන් ද අපේ ජනතාව එතරම් තැකීමක් නොකරන බවයි පෙනෙන්නේ. මෝල් ගසෙන්් ගසා සිය නිවසට පැමිණෙන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පහර දී මරා දමන පසුබිමක නීතිරීති මඟින් කරනු ලබන ඩෙංගු මර්දනය එතරම් සරල වන්නේ නැහැ. ඉන් නීතිරිති අවශ්‍ය නැතැයි අදහස් වන්නේ නැහැ. එසේ ම දැඩි නීතිරීතිවලින් පමණක් ඩෙංගු පැතිරීම අඩුවන්නේ ද නැහැ. අපේ රටේ සංස්කෘතියට අනුව ද දඩබ්බර නීතිරීති වලින් පමණක් ඩෙංගු මර්දනය කරන්න බැහැ. විනිසුරු ප්‍රසන්න අල්විස් පසුගිය දිනෙක අධිකරණයේ දී ප්‍රකාශ කළේ ද මේ සත්‍යයි.

එහෙත් සමහර පළාත් පාලන ආයතන ඩෙංගු මර්දනය කෙසේවෙතත් එය ආදායම් මාර්ගයක් කර ගෙන ඇත. සති දෙකක් ඇතුළත කෝටි 4ක පමණ ආදායමක් ඩෙංගු මර්දන දඩ ලෙස රජයට ලැබී ඇතැයි මාධ්‍ය වාර්තා කළා. ඉන් පැහැදිලි වන්නේ මර්දනය කෙසේ වෙතත් සමහරු ඩෙංගු ආදායම් මාර්ගයක් කර ගෙන ඇති බවයි. පසුගිය දා අධිකරණය පවා මෙහි අති අනර්ථය පැහැදිලි කර දුන්නා.

මැලේරියාව

අද ඩෙංගු මර්දනය කිරීමට නොහැකි වුවත් මදුරුවන්ගෙන් වැළදෙන රෝග සාර්ථකව මර්දනය කළ රටක් ලෙස ශ්‍රී ලංකාවට ද හොඳ අතීතයක් තිබෙනවා. හොඳම උදාහරණය මැලේරියාව මර්දනය කිරීමයි. එදා මැලේරියාව නිසා මියගිය පිරිස ඩෙංගුවලට වඩා වැඩියි. යටත් විජිත සමයේ මැලේරියාව නිසා සමහර ප්‍රදේශ ගම්පිටින් පාළු වුණා. සමහර පළාත්වල සෑම නිවසකම පාහේ මළමිනී දක්නට ලැබුණා. එදා සුදු ආණ්ඩුව කල්පනා කළේ පෙති ටිකක් බෙදාහැර මැලේරියාව මර්දනය කිරීමටයි. මේ බව අද සමහර අයට අමතක වෙලා.

ෙදාස්තර ඇස්. එ්. වික්‍රමසිංහ, ආචාර්ය ඇන්. එම්. පෙරේරා, පිලිප් ගුණවර්ධන වැනි නායකයින් ගෙන් ගෙට යමින් මැලේරියාවට එරෙහිව කරුණු පැහැදිලි කිරීමේ වැඩසටහන මැලේරියාව සම්පූර්ණයෙන්ම දුරුවීමට හේතු වුණා. එසේ ම ඔවුන් තම දේශපාලන ආගමනයට ද මැලේරියාව වාහකයක් කර ගත්තා. විශේෂයෙන් ම දකුණේ හා සබරගමුවේ ජනතාව වමේ නායකයගේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට තෝරා පත් කර එවන්නේ වමේ ව්‍යාපාරය පිළිබඳ ඇති අවබෝධයකින් නොවෙයි.

තමන් ළඟට පැමිණ මැලේරියාව සම්බන්ධයෙන් කරුණු කියා දී ඔවුන්ට වියළි ආහාර ද්‍රව්‍ය ගෙන දුන් වමේ මහත්තුරුන්ට කෘත ගුණ සැළකීමක් වශයෙන්. මේ කල්පනාව අදට ගැළපෙන ලෙස සකස් කර ගන්නේ නම් ඩෙංගු මර්දනය හරහා වුව ද තරුණ නායකයින්ට ජනතා සේවයට පිවිසිය හැකියි. එය මැතිවරණයක් ප්‍රකාශයට පත් වීමත් සමඟ වියළි ආහාර පාර්සල් හෝ විවිධ තෑගි බෝග බෙදා හරිනවට වඩා වැඩදායකයි.

අද මැලේරියාව වසංගත උවදුරක් සේ අපේ රටේ දක්නට ලැබෙන්නේ නැහැ. එය සම්පූර්ණයෙන් ම වාගේ පාලන වී තිබෙනවා. එසේ ම ජනතාවාදී ව්‍යාපාරයක් හරහා මැලේරියාව වසංගත උවදුරක් සේ අපේ රටේ දක්නට ලැබෙන්නේ නැහැ. එය සම්පූර්ණයෙන් ම වාගේ පාලනය වී තිබෙනවා. එසේ ම ජනතාවාදී ව්‍යාපාරයක් හරහා මැලේරියාව මර්දනය කිරීමේ ආදර්ශය ඩෙංගු රෝගය සඳහා වුව ද උපයෝගී කර ගැනීමේ හැකියාව ඇතත් ඉන් ප්‍රයෝජනය ගැනීමක් දක්නට ලැබෙන්නේ ද නැහැ.

ආදර්ශය

සෞඛ්‍ය ඇමැතිතුමා මහ මඟ ඇවිදිමින් දැන්වීම් පත්‍රිකා අලවමින් ඩෙංගු විරෝධී ජනතා ව්‍යාපාරයක් ගොඩනැඟීමේ ආදර්ශය සමාජයට ලබා දුන්නා. එහෙත් සමහර පළාත් පාලන ආයතන එම ආදර්ශය නිසි ලෙස ලබා ගන්නවා වෙනුවට ඩෙංගු ආදායම් මාර්ගයක් උත්පාදනය කළ හැකි නව දඩබිමක් කරගෙන. මේ අතර සමහර තැනක සෞඛ්‍ය පරීක්ෂකයින් මාර්ගයෙන් ජනතාව දැනුම්වත් කරමින් කටයුතු කරන පළාත් පාලන ආයතන ද දක්නට ලැබෙනවා. එම ආයතන මඟින් දඩ නියම කිරීමට ප්‍රථම සෞඛ්‍ය පරීක්ෂකවරුන් වාර කිහිපයක් නිවෙස් වලට පැමිණ ඩෙංගු මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කිරීමට නිවැසියන්ට උපදෙස් දෙන අවස්ථා ද මේ අතර දක්නට ලැබෙනවා. දඩ නියම කරන තැන්වලට වඩා මෙවන් තැන්වල ඩෙංගු මර්දනය සාර්ථක වී තිබෙනවා.

ඩෙංගු සඳහා දඩ නියම කිරීමේ දී ද අත යට යම් අක්‍රමිකතා සිදු වන බවක් ද අසන්නට ලැබෙනවා. එ්වායේ සත්‍ය අසත්‍යතාව කෙසේ වෙතත් මේ සමාජය දෙස බලන විට එවැන්නක්ට තිබෙන ඉඩ කඩ ද වැඩියි. මේ නිසා දඩයකට නොයා අතයට ගනුදෙනුවක් මඟින් ඩෙංගු ප්‍රශ්නය විසඳා ගැනීමට සමහරු පෙළඹී සිටින බවයි දැන ගැනීමට තිබෙන්නේ. මේ නිසාම ඩෙංගු සමහරුන්ට හොඳ ආදායම් මාර්ගයක් වෙලා. මේ නිසා රජයට ලැබෙන හා නොලැබෙන ලෙස ඩෙංගු දඩය යම් ආදායම් මාර්ගයක් සේ ව්‍යාප්ත වෙලා. රජයට ලැබුණු මුදල දෙසතියක් තුළ කෝටි 4ක් නම් අතයට මුදල කොපමණ දැයි සිතා ගත හැකියි. මේ කිසිවක් ඩෙංගු මර්දනය සඳහා වැදගත් වී නැහැ.

අවධානය

2011 සංඛ්‍යාලේඛනවලට අනුව ඩෙංගු වැළ දී ඇති ප්‍රමාණය 28473ක් වන විට ඉන් 185 මෙලොව අතහැර ගිහින්. මෙවර එම සංඛ්‍යාව තවමත් 75කට සීමා වෙලා. එහෙත් ඩෙංගු වැළදී ඇති ප්‍රමාණය 2012 ජූලි වන විට 14423ක් ලෙසයි වාර්තා වන්නේ. එම ප්‍රමාණයට සාපේක්ෂව ගත් කළ ඩෙංගු මරණ සංඛ්‍යාව සුළු ප්‍රතිශතයක්. ඩෙංගු මර්දනය සඳහා සෞඛ්‍ය අමාත්‍යංශය හා ජනාධිපති කාර්යසාධන බලකාය හා ගෙන ගිය වැඩ පිළිවෙළ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව පහළ වැටීමට හේතු වී තිබෙනවා. එය වඩාත් පැහැදිලි වන්නේ 2010 සංඛ්‍යා ලේඛන දෙස නෙත් යොමු කරන විටයි. 2010 වසර තුළ ඩෙංගු වැළදී ඇති රෝගීන් සංඛ්‍යාව 34105ක් සේ වාර්තා වන විට ඉන් 245 මරණයට පත් වී තිබෙනවා. 2011 වන විට මෙම මරණ සංඛ්‍යාව මෙන් ම රෝගීන් සංඛ්‍යාවද ද අඩු වෙලා. රෝගීන් සංඛ්‍යාව අඩුවීම පමණක් 6000ක් පමණ වෙනවා.

එහෙත් මෙවන් සංඛ්‍යාත්මක දත්තවලින් හා දැනට සිදුවන ප්‍රමාණත්මක වැඩ සටහන් වලින් පමණක් අපට සෑහීමට පත් වන්නට බැහැ. මේ සඳහා තවත් පැති කෙරෙහි අපේ අවධානය යොමු විය යුතුයි. අපේ රටේ විශ්වවිද්‍යාලවල හා සෞඛ්‍ය අමාත්‍යංශය සතු පර්යේෂණ ආයතනවල සිටින විද්‍යාඥයින්ගේ සහාය මේ සඳහා ලබාගෙන නොමැති බවයි බැලූ බැල්මට වුව ද පෙනෙන්නේ. පර්යේෂණ සඳහා කීට විද්‍යාඥයින්ට යම් ප්‍රතිපාදනයක් වෙන් කර තිබේ ද යන්නත් ප්‍රශ්නයක්. එහෙත් ලෝකයේ වෙනත් රටවල් පර්යේෂණාගාර හරහා විවිධ බැක්ටීරියා වර්ග නිපදවමින් මේ වන විටත් සාර්ථක ඩෙංගු මර්දනයට යොමු වෙලා.

උදාහරණ

මේ සඳහා අපට ඇති හොඳම මෙන්ම නවතම උදාහරණය ලැබෙන්නේ බ්‍රසීලයෙන් පසුගිය සමයේ බ්‍රසීලයෙන් ජෛව විද්‍යාත්මක මහා පරිමාණයෙන් ජාන විකරණය කළ මදුරුවන් නිපදවීමේ පර්යේෂණයක නියැලූණා. දැන් එය සාර්ථක වී තිබෙන බවයි පැවසෙන්නේ. ජාන විකිරණය කළ මදුරුවන් ලක්ෂ ගණනින් රසායනාගාරවල අභිජනනය කරමින් පරිසරයට මුදාහැරීමයි ඔවුන් කරනු ලබන්නේ. මෙම පර්යේෂණ ඇසුරින් බ්‍රසීල විද්‍යාඥයින් සුදානම් වන්නේ ජාන වෙනස් කළ ”ඊඩිස් ඊජිප්වයි” වර්ගයේ පිරිමි මදුරුවන් පරිසරයට මුදාහැරීමටයි. ඔවුන් ගැහැනු මදුරුවන් සමඟ එකතු වීමෙන් පසු ජනිතවන මදුරුවන් වැඩීමෙන් තොරව මියැදෙන බ්‍රසීල විද්‍යාඥයෝ සඳහන් කරනවා. දැනටමත් බ්‍රසීලයේ නගර දෙකක මේ පිළිබඳව කරන ලද නියමු ව්‍යාපෘති සාර්ථක වෙලා. බ්‍රසීල විද්‍යාඥයින් සඳහන් කරන්නේ ජාන වෙනස් කළ මදුරු විශේෂ මඟින් මාස 6ක් තුළ බ්‍රසිලයේ මදුරු ගහණය 90%කින් අඩු කළ හැකි බවයි. සතියක් තුළ ජාන වෙනස් කළ පිරිමි මදුරුවන් ලක්ෂ 150 බිහි කිරීමට බ්‍රසීල පර්යේෂකයින් බලාපොරොත්තු වෙනවා.

බ්‍රසීලයේ ලක්ෂ 50ක් 100ක් අතර ප්‍රමාණයක් ඩෙංගු රෝගයෙන් පීඩා විඳිනවා. මේ නිසා එරටින් ඩෙංගු රෝගය සදහටම ඉවත් කිරීමේ පර්යේෂණවලින් ඔවුන් දැනටමත් සාර්ථක ප්‍රතිඵල නෙළා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ බ්‍රසීලියානු ආදර්ශය අපට ගන්න බැරි ඇයි ? අපේ රටේ ද ඉහළ පෙළේ කීට විද්‍යාඥයින් හා පර්යේෂකයින් සිටිනවා. පර්යේෂණගාරත් තිබෙනවා. එහෙත් එ් පැත්ත ගැන වැඩි බරකින් කල්පනා නොකරන බවයි පෙනෙන්නේ. කියුබානු බැක්ටිරියා ගැන තවදුරටත් කාලය මිඩංගු කිරීමෙන් තොරව අපේ පර්යේෂණගාර හරහා බ්‍රසීලයේ මෙන් ඩෙංගු සඳහා විසඳුමක් සොයා ගැනීම කාලෝචිතයි. එ් සඳහා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු වන්නේ නම් මැලේරියාව මෙන් ම ශ්‍රී ලංකාවෙන් ඩෙංගු වසංගතය දුරු කළ හැකියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා