අවි අතදැරූ එල්ටීටීඊ තරුණයන් ක්‍රීඩා අංශයට

අවි අතදැරූ එල්ටීටීඊ තරුණයන් ක්‍රීඩා අංශයට

එදා එල්ටීටීඊ සබඳතා පවත්වමින් ගිනි අවිය අතදැරූ තරුණයන් පුනරුත්ථාපනයට යොමු කර ඔවුහු අප රටට ක්‍රීඩා අංශයෙන් ජය ගෙන ඒමට යොමු කරවීමට පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය සහ ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇත.

එම පුනරුත්ථාපන ලාභින් අතරින් ක්‍රීඩා අංශයෙන් ජාත්‍යන්තර මට්ටමේ තරගවලට යොමු කළ හැකි මට්ටමේ සුදුසුකම් ලාභී තරුණයන් 8 දෙනකු ජාතික ක්‍රීඩා පුහුණු සංචිතවලට යොමු කර තිබේ.

ඉලක්කයට වෙඩි තැබීමේ අංශයෙන් අදාළ පරිසාදන මට්ටමට ළඟා වූ කේ.රජීවන්, ටී .කවේන්ද්‍රන්, එස්.සුරේෂ් කුමාර්, පද්මරාජන් තදීපන්, ගෝපාල් ක්‍රිෂ්නන් ප්‍රේමකුමාර් ද, කරාතේ ක්‍රීඩාවෙන් එස්.තිරුබාකරන් ද, ක්‍රිකට් අංශයෙන් සිව කුමාරන් තුසියානන්දන් සහ එස්.නවදීපන් ද මෙම පුහුණු සංචිතයට යොමු කර ඇත.

එම තරුණයන් එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයන් ලෙස පුනරුත්ථාපන කඳවුරුවලට යොමු වී සිටි අතර එම පුනරුත්ථාපන කාලය තුළ ඔවුන්ගේ දක්ෂතා හඳුනා ගැනීමේ වැඩසටහන් පුනරුත්ථාපන හා බනධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැති චන්ද්‍රසිරි ගජදීර මහතාගේ උපදෙස් මත එම අමාත්‍යංහය මගින් සිදුකරන ලදී.

එහිදී ක්‍රීඩාවට දක්ෂ තරුණ පිරිස් නම් කරන ලද අතර එයින් උපරිම දක්ෂතා දැක්වූ පුනරුත්ථාපන ලාභී තරුණ තරුණියන් 135 දෙනකු ඉකුත් මාසයේදී කොළඹට ගෙන්වා , ක්‍රිඩා අමාත්‍යංශයේද සහාය ඇතිව සුගතදාස ක්‍රීඩාංගනයේ දී දක්ෂතා හඳුනා ගැනීමේ තරගාවලියකට ඉදිරිපත් කිරීමද එම අමාත්‍යංශය පියවර ගත්තේය.

එම තරගවලදී අදාළ ඉසව්වලින් ජාතික ක්‍රීඩා පරිසාදන මට්ටමට පැමිණි මෙම ක්‍රීඩකයන් 8 දෙනා පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ක්‍රීඩා අමාත්‍යංශය මගින් වැලිසර නාවික හමුදා පුහුණු පිටිය,සුගතදාස ක්‍රීඩා සංකීර්ණය, ඛෙත්තාරාම ක්‍රිකට් ක්‍රීඩා මණ්ඩපය වෙත යොමු කෙරේ.

මෙම වැඩ පිළිවෙළ පිළිබදව දිනමිණ වෙත අදහස් දැක්වූ පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යඃශයේ ලේකම් ඒ.දිසානානයක මහතා, වැරදි මග පෙන්වීම් මත එල්ටීටීඊ. සංවිධානයට එක්වු මෙම තරුණ තරුණියන් ක්‍රීඩා අංශයෙන් ඉතා විශිෂ්ට දස්කම් දක්වන බව මෙයට පෙර අමාත්‍යංශය අභ්‍යන්තර අංශයන් එක්ව පැවැත්වූ විවධ තරග අවස්ථාවන්හිදී හඳුනාගත් බවත් එම තරුණ පිරිස සතු දක්ෂතා රටට කීර්තියක් අත්කර දීම පිණිස මෙම වැඩපිළිවෙළ හඳුන්වා දුන් බවත් කීය‍.

ඉදිරි කාලයේදී මෙම තරුණ පිරිස් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් හිමි කර දෙනු ඇතැයි තමන් විශ්වාසය පළ කරන බවද දිසානායක මහතා පැවැසීය . අනෙක් ක්‍රීඩාවන්ගෙන්ද මෙම පුනරුත්ථාපන ලාභින් ඉදිරියට ගෙන ඒමට ක්‍රීඩා අමාත්‍යංශය සමග එක්ව වැඩපිළිවෙළක් සකස් කරන බවද , මෙම තරුණ පිරිස පුනරුත්ථාපනයෙන් පසු සමාජ ගත කිරීමේදී එම ක්‍රීඩා කුසලතා වර්ධනය කිරීමේ වැඩසටහන් නොකඩවා ඉදිරියට ගෙන යාමට වැඩ පිළිවෙළක් සකස් කර ඇති බවද දිසානායන මහතා පැවැසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා