පුද්ගලයන් ඔස්ට්‍රේලියා පටවන ජාවාරමේ ලොක්කා TNA ප්‍රබලයෙක්

පුද්ගලයන් ඔස්ට්‍රේලියා පටවන ජාවාරමේ ලොක්කා TNA ප්‍රබලයෙක්

මෙවර නැඟෙනහිර ඡන්දෙටත් නම් දීලා

මහ මොළකරු සමඟ තව දෙදෙනෙක් දැලේ

ධීවර යාත්‍රා යොදා ගනිමින් අනවසරයෙන් පුද්ගලයන් ඔස්ට්‍රේලියාවට පිටත් කිරීමේ ජාවාරමේ මහ මොළකරු සහ තවත් පුද්ගලයන් දෙදෙනකු ඊයේ (25) රහස් පොලිසියේ විශේෂ කණ්ඩායමක් අත්අඩංගුවට ගෙන තිබේ.

මේ සැකකරු දෙමළ සන්ධානය නියෝජනය කරමින් නැඟෙනහිර පළාතට මෙවර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පැවැසීය.

සුරේෂ් කුමාර්, ටී එන් ඒ නායක ආර්. සම්බන්ධන් සමඟ සමූහ ඡායාරූපයක
ඡායාරූපය – ත්‍රිකුණාමලය විශේෂ

මොහුට සම්බන්ධ තවත් පිරිසක් මීට පෙර අවස්ථා කිහිපයකදී රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

අනවසරයෙන් ඔස්ට්‍රේලියාව බලා යාමට තැත්කළ පුද්ගලයන් හත්සියයකට වැඩි පිරිසක් ඉකුත් මාස හය තුළදී නාවික හමුදාව සහ පොලිසිය විසින් සිදුකළ වැටලීම්වලදී අත්අඩංගුවට ගෙන තිබේ.

මේ ප්‍රධාන මොළකරු සුරේෂ් කුමාර් නමැති පුද්ගලයකු වන අතර ඔහු ‘සුරේෂ්’, ‘රාජු’, ‘ශිවා’ යන නම්වලින් ප්‍රසිද්ධ බව පැවසේ.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයට අයත් කඩවත්සතර ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන දේශපාලනඥයෙකු ලෙස කලක් මොහු කටයුතු කර ඇතැයි පොලිසිය පවසයි.

ත්‍රිකුණාමලය, හලාවත, මීගමුව, ගාල්ල, හම්බන්තොට, මඩකළපුව ඇතුළු දිවයිනේ ප්‍රදේශ කිහිපයක මොහු විසින් මේ ජාවාරම සිදුකළ අතර පුද්ගලයින්ගෙන් රුපියල් කෝටි පහකට වැඩි මුදලක් ලබාගෙන ඇති බව පැවසේ.

කුඩා ළමුන් සමඟ පවුල් පිටින් අනවසරයෙන් යාත්‍රා මගින් විදේශගත කිරීම ප්‍රථම වතාවට සිදුකර ඇත්තේ මොහු විසින් බව පොලිසිය පවසයි. මහමොළකරු ලෙස සැලකෙන මේ පුද්ගලයා දිවයිනේ ප්‍රදේශ කිහිපයක තාවකාලිකව පදිංචිව සිට ඇති බව අනාවරණය වී ඇත.

අහිංසක දෙමළ වැසියන් රවටා ඔවුන්ගේ මුදල් වංචනික ලෙස ලබා ගෙන මෙරට අපකීර්තියට පත් කිරීමට මේ සැකකරු කටයුතු කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

කොටි ඩයස්පෝරාවේ අවශ්‍යතාවයන් ඉටුකිරීම සැකකරු ප්‍රධාන වශයෙන් සිදුකර ඇති බව පොලිසිය පෙන්වා දෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා