ජපන්නු බෝම්බ දාද්දි අපි හැංගුණේ මේසෙ යට

ජපන්නු බෝම්බ දාද්දි අපි හැංගුණේ මේසෙ යට

- හිටපු හමුදාපති හැමිල්ටන් වනසිංහ

කළුකොඳයාවේ තම නිවෙසට වී සැදෑ සමය විවේකීව ගත කරන ඔහු සොයා ගෙන අපි කළුකොඳයාවට ගියෙමු.

“මගේ සොඳුරු ළමාවිය ගෙවුණේ කළුකොඳයාව කියන මේ සුන්දර ගම්මානයේ’ ඒ දෙවන ලෝක මහා සංග්‍රාමය ආරම්භ කළ කාලයයි. ජපන්නු අපේ රටටත් බෝම්බ දැම්මා. ඒ දවස මට අද වගේ මතකයි. අපි නිවසේ ඉඳගෙන ඈත අහසේ පියාසර කරන අහස් යානා ගැන්නා. හදිසියේම ඒ අහස් යානාවලින් එළි විහිදුවමින් බෝම්බ දාන්න පටන් ගත්තා. මමත්, අයියත් කෝටුවක් දත් අතර හිරකරගෙන ඉක්මනටම මේසයක් යටට රිංගුවා.”

හැමිල්ටන් වනසිංහ නම් වන ඔහු සිය අතීතයට පිවිසියේය. ජපන්නු බෝම්බ දැම්මේ කොළොම්පුරවරටය. කළුකොඳයාවේ මහගෙදරට නිවාඩුවකට පැමිණ සිටි හැමිල්ටන් පුතාට මෙම සිදුවීම් පෙළ දර්ශනය වුයේ සිය ගම්පියසෙහි යන හැඟීම එකල සිතින් බැහැර කිරීමට අසමත් විය. මෙවන් හදිසි අවස්ථාවක ක්‍රියා කළ යුතු අන්දම සිප්හලෙන් දැනුවත් කර තිබිණි. ඔහු සිය සොහොයුරා සමඟ මේසය යටට රිංගුවේ එබැවිනි.

කළුකොඳයාවේ ග්‍රාමයට රබර් වගාව හඳුන්වා දුන් හෙන්රි වනසිංහ නම් ව්‍යාපාරිකයා සිය ජීවිතය වෙනස් කළ චාලට් කොතලාවල නම් සිය බිරිය ඔහු කැන්දාගෙන එන්නේ බියගම ප්‍රදේශයෙනි. ඔවුන්ට පුතුන් දෙදෙනෙකි. දෙවැනි පුතු වන හැමිල්ටන් ඉපදී තුන් වසරක් ඉකුත් වී යත්ම චාලට් සිය ආදරබර සැමියා හා දරු දෙදෙනා අතැර මෙලොවින් සමුගන්නේ නොසිතූ විරූ ලෙසිනි. කිරිකැටි දරුවකු හා පා නඟා ඇවිදින වයසේ සිටින ලොකු පුතු සමඟ දෙලොවක් අතර තනිවන හෙන්රි සිය ජීවිතයට මේ වුයේ කුමක්දැයි නිතර කල්පනාවේ නිමග්න විය.

සිය බිරියගේ සුවඳ තැවරුණු කිරිකැටි පුතු සිය නැගණියට දුන් ඔහු ඔවුන් හදා වඩා ගැනීම භාර කළේ ඇයටය. සිය නැන්දණියගේ සෙවනේ උස්මහත් වු හැමිල්ටන් පුතා අකුරු කරන්නට ගියේ ගම්පහ පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාසලකටය. පුංචි හැමිල්ටන් පාසලට ගියේ වතුරමලේ වෙද මහතාගේ නිවසෙහි නැවතී නැන්දනියගේ ඇඟිලි තුඩුවල එල්ලීය.

'ඒ කාලයේ පහ ශ්‍රේණියේදී විතර වගේ විභාගයක් තිබුණා. ඒ විභාගයෙන් ලංකා­‍ෙවන්ම මම පළමුවැනියා වුණා. ඉස්කෝලේ මාස්ටර්ටත් බොහොම සතුටුයි. ඒ විභාගය නිසා ලැබෙන ශිෂ්‍යත්වයක් ලබා ගන්න ඉල්ලුම් පත්‍ර යැව්වා. කොහොම වුණත් ඊට පිළිතුරු නොලැබුණු නිසා තාත්තා එකල සිටිය මන්ත්‍රී එස්. ඩබ්. ආර්. ඩී. බණ්ඩාරනායක හමුවෙන්න රොස්මිඩ් ප්ලේස් එකට ගියා. එතනදී අපට දැන ගන්නට ලැබුණේ ලංකාවෙන්ම දෙන්නෙක් තේරිලා තිබුණ නිසා අකුරු ලස්නන කෙනාට ඒ ශිෂ්‍යත්වය හිමිවුණු බවයි. මේ කාලයේ කොළඹ ආනන්දයේ ශාඛාවක් ගම්පහට ආවා. ඊට ඇතුළත් වුණු මම යුද්ධයෙන් පස්සේ කොළඹට ආවා. ඒ කාලේ මම තරමක් දඟයෙක්. අද වගේ මට මතකයි. දවසක් චන්ද්‍රපාල සර්ගේ ඉගැන්වීම් අතරෙදි අපි යාළුවෝ ටික කළ කතාවක් අහුවුණා. පාසල අවසානයේ නවතින්න කියලා මට අණක් ලැබුණා. එදා සිකුරාදා දවසක්. පාසල ඇරෙන සීනුව වැදුණ වතරයි මම නැවතුණේ ගෙදරට එන බස් එකේ. ඊළඟ දවසේ මම පාසලට ගියා විතරයි මෙන්න තාත්තත් ඉස්කෝලේ ගේට්ටුව ළඟ. මාව අස්කර ගන්න කියලා ඉස්කෝලෙන් තාත්තට ලියුමක් යවලා. ඊට පස්සේ තාත්තා ඒක කතා කරලා සමාදාන කර ගත්තා.

හැමිල්ටන් කියන තරුණ පාසල් ශිෂ්‍යයාගේ සිත කැඩෙට් අංශයට යොමුවන්නේ මේ අතරය. එකල තිබු වෙඩි තැබීමේ තරගාවලියකදී ආනන්දයේ ගවනර් ක්ලබ් එක මුල්තැන පැමිණියේ එකල තිබුණු ට්‍රේනින් ටීම් එක පරදවමිනි. ඊට අමතරව හැමිල්ටන් තරුණයා බොක්සිං ක්‍රීඩාවට බෙහෙවින් ආදරය කළේය. කැඩෙට්වලට හා බොක්සිං ක්‍රීඩාවට නැමුණු මේ තරුණයාගේ සිත්හි අධ්‍යාපනයට තිබුණේ අඩු අවධානයකි. ඒ කටයුතු නිසා ඔහුගේ අධ්‍යාපන කටයුතු අතපසු විය. හමුදා නිල ඇඳුමට හැමිල්ටන්ගේ සිතෙහි වු ආදරය ලියලා වැඩෙන්නට වුයේ පාසල නිමවීමත් සමඟිනි. හේ නාවික හමුදාවට අයැදුම්පත් දැමුවේ නාවිකයකු ලෙස සිය ගමන අරඹනු රිසියෙනි. එහෙත් ඒ අදහස වෙනස් කරමින් ඔහු යුද හමුදා භටයකු ලෙස යුද හමුදාවට බැඳෙන්නේ 1953 සැප්තැම්බර් 01 වැනිදාය.

“1971 වසරේ ජේ.වී.පී. කලබල කාලයේ මම හිටියේ පනාගොඩ හමුදා කඳවුරේ. අපේ හමුදා කඳවුර වට කරලා ගහන්න එනවා කියලා ලැබුණු ආරංචිය නිසා අපි සුපරික්ෂාකාරී ලෙසයි පසුවුණේ. මේ නිසා මමත් තවත් කිහිපදෙනෙක් වාහනයක නැඟලා හමුදා කඳවුර ළඟ පාරෙන් යන කොට එතැන හිටිය ඉංජිනේරු බළකායේ සෙබළුන් වැරැදි වාහනයක් කියලා වෙඩි තියන්න වුණා. අපි ඉක්මනටම වාහනෙන් පැනලා කාණුවක් දිගේ ගියා. පස්සේ කෑ ගහලා අපි බව කිව්වත් වෙඩි තියන එක දිගින් දිගටම සිද්ධ වුණා. අවසානයේ දී ඒ සියල්ල අවසාන වනවිට අපේ කෙනෙකුට තුවාල වී තිබුණා. ඒ සිදුවීම මගේ ජීවිතයේදී ලෙහෙසියෙන් අමතක වෙන්නේ නැති සිදුවීමක් කිව්වොත් නිවැරැදියි”

83 වසරේ ඇතිවු ජූලි කලබලයන්හිදී හැමිල්ටන්ට නුවර ප්‍රදේශයට යන්නට සිදුවේ. එහිදී සිංහල මිනිස්සු දමිළ මිනිසුන්ගේ වෙළෙඳසල් විනාශ කරන අයුරු දැක ගන්නට ලැබිණි. ඒ සියල්ල ඒ අයුරින් විනාශ කරන්නට නොදී ආරක්ෂා කිරීමට හැමිල්ටන් ඇතුළු පිරිසට මහත් උත්සාහයක් ගැනීමට සිදුවිය. 1983 දී හැමිල්ටන්ට අපූරු අවස්ථාවක් හිමිවේ. ඒ ඉන්දියාවේ පැවැත්වුණු හමුදා පුහුණුවකට සහභාගි වන්නටය. මේ අපුරු පුහුණුවීමේදී සිදුවුණු බොහොම දුක්ඛදායක කාරණයක් මේ වෙලාවේදී මගේ මතකයට නැඟෙනවා. ඒ ඉන්දිරා ගාන්ධිගේ මරණයයි. ඉන්දිරා ගාන්ධි මැතිනිය අප සියලුදෙනා අමතලා කතාවක් කරන්නයි සිටියේ. ඒත්් එතුමියගේ කතාව අහන්නට අපට වාසනාව තිබුණේ නැහැ. ඇය මියගිය බව අසන්නට ලැබුණා. රජිව් ගාන්ධි ඇයගේ තැන ගත්තා. ඔහු ළඟ ආරක්ෂකයකු ලෙස කටයුතු කිරීම අපට තිබුණු රාජකාරියක්. ඔහුට අතට අතදී සුබ පැතීමටත් මා අමතක කළේ නැහැ.”

1984 වසරේ සිය මව්බිමට පැමිණෙන ඔහු උතුරු ප්‍රදේශයේ ආඥාපති ලෙස තනතුරින් උසස් තත්ත්වයට පත්වේ. එතැනින් ආරම්භ වුණු හැමිල්ටන් නම් යුද හමුදා නිලධාරියා 1986 දී හමුදා මුලස්ථානයේ ii බලසේනාවේ ආඥාපති ලෙසත්, යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙසත් පත්වෙයි. 1988 වසර හැමිල්ටන් වනසිංහ නම් නිලධාරියාගේ ජීවිතයේ අපූරු සංධිස්ථානයක් විය. යුද හමුදාවේ ඇඳුමට ආදරය කළ ඔහු සිය ආදරණීය මව්බිමේ යුද හමුදාපතිවරයා ලෙස දිවුරුම් දෙන්නේ් 1988 වසරේදීය. යුද හමුදාපතිවරයා ලෙස එකල තිබු සමාජ පසුබිම යහපත් කිරීමට වෙහෙසීමට හැමිල්ටන් වනසිංහ නම් අභීත සෙන්පතියාට සිදුවේ.

සිය ජීවිතයේ ජීවන මෙහෙවර ඉටු කිරීමට තවදුරටත් සපත වන ඔහු 1991 දී ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානියා ලෙස පත්වේ. 93 වසරේදී ආරක්ෂක ලේකම් ලෙස පත්වෙමින් සිය සේවය තවදුරටත් රටට හිමිකරමින් ඔහු විශ්‍රාම දිවියට වන්නේ එම තනතුරට සමුදෙමිනි.

මෙතෙක් දිගු මාවතකට අවතීර්ණ වන්නට සිය සෙවනැල්ල මෙන් සිටි දයාබර බිරිය වසර පනහකට පසුව ඔහු අතහැර යන්නේ මේ අභීත රණවිරුවාගේ හදවත ශෝකයෙන් පුරවමිනි. අද තමාට දායාද කළ ජුනිකා, ශෂිකා මනෝරි, දර්ශිකා සේනානි, සංජය සේනාධි දිලුක සම්පත් යන දූ පුතුන් පස්දෙනා අද පියාණන් රැකබලා ගන්නේ දයාබරත්වය සෙනෙහස ‍ෙබදා හදා දෙමිනි. සිවිනි, අශ්විනි, දෘවීෂා, දසිත්, සෙනාල්, චකිල්, සනුක, අමායා යන මුණුපුරු - මිනිපිරියන් සමඟ ගෙවන ජීවිතය සිය ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුණා වැනි යැයි හැමිල්ටන් වනසිංහ නම් වු ඔහු පැවසුවේ අපට සමුදීමට මත්තෙනි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා