හෘද රෝගීන්ගේ බෙහෙත්්වලට රජයේ රෝහල්වලට මුදල්

හෘද රෝගීන්ගේ බෙහෙත්වලට රජයේ රෝහල්වලට මුදල්

හෘද රෝගීන්ට අවශ්‍ය ඖෂධ හා වෛද්‍ය සැපයීම් රජයේ රෝහල්වලට ලබාදීමට අඳාළ මූල්‍ය ප්‍රතිපාදන සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ලබාදීමට රජය පියවර ගෙන තිබේ.

ඒ අනුව ඉදිරි මාසයක කාලයේදී මේ ඖෂධ සැපයීම් විධිමත් ලෙස රෝහල්වලට ලබාදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතා පවසයි. හෘද සැත්කම් සිදු කරන රෝහල්වල පවතින ඖෂධ හිඟය හා අනෙකුත් අවශ්‍යතා සොයා බැලීම පසුගිය සතියේදී අමාත්‍යාංශය මඟින් සිදුකෙරිණ. එම සියලුම අවශ්‍යතා වහාම මිලදී ගැනීමට අවශ්‍ය විධිවිධාන මේ වන විටත් යොදා ඇත.

උරස් හා හෘද රෝග සැත්කම් සහ විශේෂයෙන්ම උපතින්ම දරුවන්ගේ පවතින හදවත් රෝග සඳහා ප්‍රමුඛත්වයක් දී කටයුතු කිරීමට රජය හා සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

ඉදිරි කාලයේදී මෙරට ඖෂධ හිඟයක් නොමැතිව සෞඛ්‍ය සේවා පද්ධතිය පවත්වාගෙන යාමට අවශ්‍ය කරන මුදල් ජනාධිපතිවරයාගේ උපදෙස් මත සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන හා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහත්වරුන්ගේ මැදිහත් වීම යටතේ මහ භාණ්ඩාගාරය මඟින් ලබාදී තිබේ.

කොළඹ ජාතික රෝහල, රිජ්වේ ආර්යා ළමා රෝහල, මහනුවර ශික්ෂණ රෝහල, කරාපිටිය ශික්ෂණ රෝහල ඇතුළු රෝහල් කිහිපයක රටේ අහිංසක ජනතාවට හදවත් සැත්කම් සිදු කිරීමට අවශ්‍ය වන පහසුකම් සලසා දී තිබේ. රෝහල්වල පිහිටි හදවත් සැත්කම් අංශ සංවර්ධනය කර පවත්වාගෙන යාමට රජ‍ය රුපියල් කෝටි ගණනක මුදලක් මේ වනවිටත් ආ‍යෝජනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා