මාගල්ල වැව පිළිසකර වැ‍ඩ ජනපති අතින් ඇරැඹේ

බංකොලොත් විපක්ෂය ඉසෙඩ්වල එල්ලිලා

උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක

ඉසෙඩ් ලකුණු පිළිබඳ ඇතිව ඇති මතභේදාත්මක තත්ත්වය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය ක්‍රියාමාර්ග, විශ්වවිද්‍යාල පද්ධතිය තුළ ඇතිව ඇති අර්බුද පිළිබඳ උසස් අධ්‍යාපන ඇමැති එස්. බී. දිසානායක මහතා සමඟ කළ සාකච්ඡාවකි මේ.

l උසස් පෙළ විභාගය ආශ්‍රිතව මතුව ඇති අර්බුදයට හේතුව ඔබ ඇතුළු ආණ්ඩුවේ නොහැකියාව බවට විපක්ෂය චෝදනා කරනවා. මේ චෝදනා කෙතෙක් දුරට සාධාරණ ද?

උසස් පෙළ විභාගය ආශ්‍රිතව මතුව ඇති අර්බුදය පිළිබඳ රජය ඉතාමත් සංයමයකින් යුතුව අසහනයට පත් දරුවන්ට සහනයක් ලබාදීමට කටයුතු කරනවා. දරුවන් පැරැණි නිර්දේශය හා නව නිර්දේශය යන දෙඅංශයෙන්ම විභාගයට පෙනී සිටියා. මෙහිදී විද්‍යා අංශයෙන් විභාගයට ඉදිරිපත් වූ දරුවන්ගෙන් පළමු වාරයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නේ 30 % පමණයි. ඉතිරි 70 % වෛද්‍ය විද්‍යාලයට ඇතුළත් වන්නේ දෙවැනි වර විභාගයට ලියූ පසුවයි. ඉසෙඩ් ක්‍රමය මගින් මෙවැනි විෂමතා ඉවත් කිරීම තමයි අරමුණ වෙලා තිබුණේ.

මේ ක්‍රමය පිළිබඳ විශාල විවේචන ප්‍රමාණයක් එල්ල වුණා පමණක් නොවෙයි, මේ ගැටලුව උසාවිය දක්වා දුර දිග ගියා. එතැන දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම හා විභාග දෙපාර්තමේන්තුව උත්තර බඳින විදිහ පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් ඇති වුණා. ඒ නිසා අප යම් අර්බුදකාරී තත්ත්වයකට මුහුණ දුන්නා. ඒත් අප මේ ගැටළුවේදී ඉතාමත් විවෘත මනසකින් යුතුව කටයුතු කළ යුතුයි කියන මතයේයි මා සිටින්නේ. මෙතැන දී යම් යම් අන්තවාදී දේශපාලන පක්‍ෂ විසින් දේශපාලන වාසි සඳහා මේ දේවල් සඳහා සටන් පාඨ නිර්මාණය කර ගත්තා. මෙහිදී දරුවන් හා මවුපියන් ඇවිස්සීමට කටයුතු කිරීම නුසුදුසු දෙයක් විදිහට හඳුන්වන්න පුළුවන්.

l මේ මොහොතේදී විය යුත්තේ වැඩි දුරටත් වාද විවාද කරමින් සිටීම නොවෙයි අසහනයට පත් සිසුන් වෙත සහනයක් ලබා දීමයි. මේ සඳහා ආණ්ඩුව පැත්තෙන් පියවරක් ගෙන නැද්ද?

මේ විදිහට විභාගය නිසා අසහනයට පත් දරුවන් වෙනුවෙන් නිසි විසඳුම් ලබාදීමට අවශ්‍ය යෝජනා මොනවාද කියලා අප සොයා බලමින් ඉන්නේ. අසහනයට පත් වූ දරුවන් ගේ තොරතුරු රැස් කිරීමට අප කටයුතු කර බනවා. මෙහිදී අපට ගැනීමට පුළුවන් වැඩපිළිවෙළ ගැන අප අවධානය යොමු කර ඒ ගැන සොයා බලමින් සිටින්නේ. එහි එක් පියවරක් වන්නේ මීළඟ උසස් පෙළ විභාගය සඳහා ඉදිරිපත් වීමට විධි විධාන සලසා දීමයි. එහෙත් මා පුද්ගලිකව විශ්වාස කරන්නේ නෑ මෙය එතරම් සාර්ථක දෙයක් විදිහට ඒ සමඟ ම සාකච්ඡාවට බඳුන් වෙලා තිබෙනවා. උසස් පෙළ විභාගයට තුන්වැනි වර විභාගයට පෙනී සිටින අයට හතර වැනි වතාවට විභාගයට පෙනී සිටීම සඳහා විශේෂ අවස්ථාව ලබාදීම ගැන.

ඒ වගේම විශ්වවිද්‍යාලවල තදබදය අඩු කිරීමටත් පහසුකම් ඉහළ නැංවීමටත් කටයුතු සූදානම් කර තිබෙනවා. මේ කටයුතු සාර්ථක වූ පසු විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන දරුවන්ගේ ප්‍රමාණය ඉහළ නැංවීමට පුළුවන්කම ලැබෙනවා. එවැනි ක්‍රියාමාර්ග මගින් අසහනයට පත් වූ දරුවන්ට යම් සහනකාරී වාතාවරණයක් ඇති කර ගැනීමට පුළුවන්කම ලැබෙනවා.

l ඉසෙඩ් අර්බුදය පිළිබඳ වාර්තාවක් කඩිනමින් ලබා දෙන ලෙස ජනාධිපතිතුමා ඉල්ලා ඇතැයි වාර්තා පල වෙනවා. මෙහි ඇත්ත තත්ත්වය කුමක්ද?

ජනාධිපතිතුමා ඉසෙඩ් ලකුණුවලින් අසහනයට පත් දරුවන් පිළිබඳ සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියා. ඒ වාර්තාව කඩිනම්ව ජනාධිපතිතුමා වෙත ලබාදීමට අප කටයුතු කර තිබෙනවා.

l විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප් ඉහළ දැමීම ඇතුළු ඉල්ලීම් මූලික කරගෙන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළැඹ සිටිනවා. ඔවුන්ගේ මේ ඉල්ලීම් කොතෙක් දුරට සාධාරණ ද?

2010 අය වැය යෝජනා මගින් සියලු රජයේ සේවක වැටුප් 5 % ඉහළ දමද්දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වැටුප් ප්‍රමාණය 36.5 % දක්වා වැටුප් ඉහළ දැමීම සිදු කළා. ජනාධිපතිතුමා ගේ මැදිහත්වීමෙන් යළිත් වරක්30 % වැටුප් ඉහළ දැමීමක් සිදු කළා. එහි දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ වැටුප් තෙවරක් ඉහළ දමා තිබෙනවා. එහි දී ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ගේ වැටුප 79 % ඉහළ ගියා. පහළ තලයේ සාමාන්‍ය ආචාර්යවරයකුගේ 40 % ආසන්න ප්‍රතිශතයකින් ඉහළ ගොස් තිබෙනවා.

මේ වැටුප් ඉහළ යාම් ලංකා ඉතිහාසයේ වැඩිම වැටුප් ඉහළ යාමක් ලෙස හඳුන්වා දුන්නොත් එහි වරදක් නැහැ. ඒ වගේ ම තමන්ගේ රාජකාරියෙන් බැහැර දේශනවලදී ලබා දෙන දීමනා ප්‍රමාණයත් විශාල ලෙස ඉහළ දමා තිබෙනවා. මෙහි දී මා කියන්නේ නැහැ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට විශේෂයක් නොකළ යුතුයි කියලා. ඔවුන් විශේෂ කාර්යයක් තමයි ඉටුකරන්නේ. එහෙත් අද විශ්වවිද්‍යාල ආචාර්යවරු ඉල්ලා සිටින්නේ වැටුප් වර්ධකය මූලික වැටුපට එක් කරන ලෙසටයි. එම ඉල්ලීම මතභේදාත්මක ඉල්ලීමක් විදිහටයි සලකන්න පුළුවන්කම තිබෙන්නේ.

ආචාර්යවරුන් ගේ් පමණක් මූලික වැටුප ඉහළ දැම්මොත් එය විශාල අර්බුදකාරී තත්ත්වයකට යොමු වීමක් බවට පත් වෙනවා. වෛද්‍ය සේවය, පරිපාලන සේවය, සැලසුම් සේවය, කෘෂිකර්ම සේවය ඇතුළු වෘත්තිකයනුත් ඔවුන් ගේ මූලික වැටුපට වැටුප් වර්ධක ඉල්ලා සිටියහොත් එය ඉටු කළ නොහැකි මට්ටමේ දෙයක් වෙනවා. විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සියලු දීමනා එකතු කර බැලුවා ම ඔවුන්ගේ වැටුප් ප්‍රමාණය 300 % පමණ ඉහළ ගිය අවස්ථාවක් තිබෙනවා. මේ අය තමයි ඔවුන්ගේ වැටුප් තවත් මදි කියලා කියන්නේ.

විශ්වවිද්‍යාලවල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු, උප කුලපතිවරු, ආචාර්යවරුන්ගේ් සංගමයේ ඉල්ලීම් වලට එකඟතාවක් නැහැ. ඒත් ඔවුන් නිහඬ පිළිවෙතකුයි අනුගමනය කරන්නේ.

l විශ්වවිද්‍යාල දේශපාලනීකරණය වී ඇතැයි විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය චෝදනා කරන්නේ ආණ්ඩුවටයි. මේ චෝදනාව සාධාරණ දෙයක් විදිහට ඔබ කල්පනා කරනවා ද?

මේ චෝදනාව කිසි ලෙසකින්වත් සාධාරණ චෝදනාවක් නොවෙයි. අසාධාරණ හා අයුක්ති සහගත චෝදනාවක්. 1987 පසු දකුණේ විශ්වවිද්‍යාල පාලනය කළේ නිල නොවන ජවිපෙ ශිෂ්‍ය සංගම් පාලනයක් විසිනුයි. ඒ ශිෂ්‍ය සංගම් කිසිදු විටෙක ඡන්ද බලයෙන් පත්වූ නීත්‍යානුකූල සංගම් නොවෙයි බලහත්කාරයෙන් ශිෂ්‍යයන් පාලනය කරන සංගමයක් විතරයි දකුණේ ජවිපෙ සංගම් විශ්වවිද්‍යාල පාලනය කරද්දී උතුරේ දී එල්ටීටීඊ සංවිධානයට හිතවත් ශිෂ්‍ය සංගම් විසිනුයි විශ්වවිද්‍යාල පාලනය කළේ. සුළු පිරිසකට ඕනෑකම තිබුණා විශ්වවිද්‍යාලය පාලනය කිරීමට. මෙතැන දී ඔය ආචාර්ය මණ්ඩලයේ අයත් සිටියා විශ්වවිද්‍යාලවල. ඒත් ඒ කිසිවකු මේ ශිෂ්‍යයන්ගේ අවනීතිය සහිත නිල නොවන පාලනයට විරුද්ධව කටක් ඇරල කතා කළේ නැහැ.

මේ ඊනියා ශිෂ්‍ය සංගම් මිලියන ගණන් විශ්වවිද්‍යාලවල දේපළවලට හානි කළා. විකල්ප මතධාරී ශිෂ්‍යයන් අමු අමුවේ මරා දැමුවා. පහරදුන්නා. එළවා දැමුවා. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සමන්ත සිසුවා මරා දැමුවේ මේ ඊනියා ශිෂ්‍ය සංගම් සාමාජිකයන් විසින්.

සමන්ත කළ එකම වරද වුණේ නවක වදයට විරුද්ධ වීමයි. මේ මිනීමරු ශිෂ්‍ය සංගම් දේශපාලනයට විරුද්ධව ආචාර්ය සංගමයේ කිසිවකු ඇහැක් ඇරලා බැලුවේ නැහැ. කටක් ඇරලා කතා කළේ නැහැ. ඒ අය තමයි අද විශ්වවිද්‍යාල දේශපාලනීකරණය වී ඇතැයි කියන්නේ. ඔවුන් ගුරුවරුන් විදිහට වරදකට එක දරුවෙකුට හෝ් දඬුවමක් කරලා නැහැ.

මම ඇමැතිවරයා විදිහට මට ඇති බලතල ක්‍රියාත්මක කළා විශ්වවිද්‍යාලයටත් අනෙක් ආයතනවලට වගේ ම විනය පද්ධතියක් අත්‍යවශ්‍ය කවුරුන් හෝ කෙනෙක් ඒ විනය පද්ධතිය නොතකා විනය නීති උල්ලංඝණය කරමින් කටයුතු කරනවා නම් නීත්‍යානුකූල රාමුව ඇතුළත ගන්න පුළුවන් උපරිම පියවර ගන්න ඕනෑ. ඒක වරදක් නොවෙයි.

මේක දේශපාලනීකරණයක් නොවෙයි. හරි දේ නොදකින අය තමයි මේ දේත් දේශපාලනීකරණය වීමක් විදිහට දකින්නේ. දේශපාලනඥයකුට යන්නට බැරිව තිබූ විශ්වවිද්‍යාලවලට මම ගියා. සිසුන් ආචාර්යවරුන් සමග සාකච්ඡා කළා. එය දේශපාලනීකරණය වීමක් විදිහට සඳහන් කිරීම වැරැදි දෙයක්. එතෙක් කල් දේශපාලනඥයෙක් ගියා නම් ජවිපෙ දේශපාලඥයෙක් විතරයි විශ්වවිද්‍යාල භූමියට ගියේ.

l පුද්ගලික විශ්වවිද්‍යාල ඇති කිරීම පිළිබඳවත් මේ දිනවල විශාල කතා බහක් ඇතිවෙලා තිබෙනවා. මේ ගැන ඔබට ඇත්තේ මොන විදිහේ අදහසක්ද?

විශ්වවිද්‍යාල පද්ධතියට විසි දහසකට වැඩි පිරිසක් ඇතුළු වෙද්දී තවත් අති විශාල පිරිසක් විශ්වවිද්‍යාලයට ඇතුළත් වීමට සුදුසුකම් තිබියදී විශ්වවිද්‍යාල පද්ධතියට ඇතුළත් වීමට නොහැකිව සිටිනවා. මෙතැන දී මුදල් ඇති අයගේ දරුවෝ විදේශීය සරසවිවලට විශාල මුදල් ප්‍රමාණයක් ගෙවා පිටත්ව යනවා. මෙහිදී විශාල තවත් පිරිසක් ඉතිරි වෙනවා. ඒ අයටත් විකල්පයක් තිබිය යුතුයි. එතැන දී ඔවුන්ටත් හැකියාවක් තිබෙනවා නම් සාධාරණ මුදලක් ගෙවා පුද්ගලික විශ්වවිද්‍යාලයට ඇතුළු වී අධ්‍යාපනය ලැබීමට එය අසාධාරණ දෙයක් නොවෙයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා