පිපිඤ්ඤා මිල පහළට : මැල්සිරිපුර ගොවිහු අසීරුවේ

පිපිඤ්ඤා මිල පහළට : මැල්සිරිපුර ගොවිහු අසීරුවේ

පිපිඤ්ඤා අස්වැන්න සරුයි. ඒත් මිල හොඳටම බැහැල. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පිපිඤ්ඤා කිලෝවක් රු.5 ට 6 ට මිලට ගන්නේ. ඒ මිලට අලෙවි කරල අපේ පිරිවැයවත් ලබා ගන්න බෑ. ගිය වසරේ කිලෝවක් රු. 25/- ට අලෙවි කළා. හොඳ ලාභයක් ලබා ගත්තා.

අපි හැමදාම අසරණවෙලා අනුන් වැඩි ලාභ ලබන හැටි බලා හූල්ලමින් ඉන්නවා යැයි මැල්සිරිපුර පිපිඤ්ඤා ගොවියකු වූ අයි. අබේකෝන් බණ්ඩා මහතා පැවැසීය.

අප පසුගිය දිනක මැල්සිරිපුර, මහවෙල, නීරංමුල්ල ප්‍රදේශයේ සංචාරය කරද්දී තමන්ට ඇති ගැටලු විස්තර කරමින් තවත් පිපිඤ්ඤා ගොවීන් කීප දෙනෙක් මෙසේ අදහස් දැක්වූහ.

ආර්.එල්.ස්වර්ණලතා මැණිකේ මහත්මිය

අක්කරයක පිපිඤ්ඤා වගා කිරීමට රු.20000ත් 30000ත් අතර මුදලක් වැය වෙනවා. කිලෝ පන්දාහක් විතර අස්වැන්න ලබා ගන්න පුලුවන්. ඒත් අද මිල කිලෝවක් රු. 5 යි 6 යි. ඉතින් කොහොමද ගොවිතැනින් ලාබ ගන්නේ.

පිපිඤ්ඤා කල් තියාගන්නත් බැරි නිසා කීයට හරි දෙන්නටයි බලන්නේ. ණයවෙලා ගොවිතැන් කරන නිසාත් ඉක්මනට අලෙවි කරන්නට ගොවීන් පෙළඹීම පුදුමයක් නොවේ. අසරණ අපි ගැන සොයා බලා අපේ අස්වැන්න මිලට ගන්න සුදුසු වැඩ පිළිවෙළක් සකස් කරන මෙන් බලධාරින්ගෙන් ඉල්ලා සිටිනවා.

මල්ලිකා කුමාරි මහත්මිය

පිරිමි කුලීකාරයකුට රු.800 දක්වා පඩි ගෙවන්න ‍ෙවලා. ගැහැණු කෙනකුට රු.350 යි. කෘමි නාශක, ප්‍රවාහන ඇතුළු සෑම දෙයක්ම මිල ඉහළ ගිහින්. පිපිඤ්ඤා මිල ඉහළ ගොස් නැති නිසා අස්වැන්න සරු වුණත් ලාභයක් නෑ. මේ නිසා පිපිඤ්ඤා වගාව නැවත කරනවාද කියා අපි දෙගිඩියාවෙන් ඉන්නේ.

පිපිඤ්ඤා ගොවිතැන් කරන පන්සියයක් පමණ වන ගොවීන්ට මෙවර බලාපොරොත්තු වූ ලාබයක් ලබා ගැනීමට නොහැකි වී ඇත. ඊට වගකිවයුතු නිලධාරින්ගේ නොසැලකිල්ල නිසා ගොවීහු දුකට පත් වී සිටිති. මේ වාතාවරණය ඉදිරියටත් තිබුණහොත් ඔවුන් පිපිඤ්ඤා, වගාවෙන් ඉවත්වීමට තීරණය කිරීම වැළැක්විය නොහැකි වනු ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා