වයඹ-කඳුරට-නැගෙනහිර-ඌව අවසන් පූර්ව වටය අද ඇරැඹේ

වයඹ-කඳුරට-නැගෙනහිර-ඌව අවසන් පූර්ව වටය අද ඇරැඹේ

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබීමට වයඹ, කඳුරට, නැගෙනහිර සහ ඌව කණ්ඩායම් සමත්ව සිටිති. මූලික වටයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට වයඹ කණ්ඩායම සමත්වූ අතර කඳුරට කණ්ඩායම දෙවැනි ස්ථානයේ පසුවෙයි. නැගෙනහිර සහ ඌව කණ්ඩායම් තෙවැනි සහ සිවුවැනි ස්ථාන අත්කර ගෙන සිටිති. මේ අනුව රුහුණු, උතුර සහ බස්නාහිර කණ්ඩායම් තරගාවලියෙන් ඉවත් වී සිටිති.

අවසන් පූර්ව තරග සහ අවසන් මහා තරගය ආර්.ප්‍රේමදාස පිටියේ පැවැත්වේ. පළමු අවසන් පූර්ව තරගය අද (28) පැවැත්වෙන අතර‍ හෙට(29) දෙවැනි අවසන් පූර්ව තරගය පැවැත්වේ. අවසන් මහා තරගය ලබන 31වැනිදා පැවැත්වීමට නියමිතය.

මහේල ජයවර්ධනගේ නායකත්වයෙන් යුත් වයඹ යුනයිටඩ් කණ්ඩායමට දිනේෂ් චන්දිමාල්, ඉසුරු උදාන මෙන්ම පාකිස්තානයේ අබ්දුල් රසාක්, එංගලන්තයේ අසාර් මහමූද්, ඔස්ට්‍රේලියා‍වේ බ්‍රැඩ් ‍හොග් වැනි ප්‍රබල ක්‍රීඩකයන් තරග වදිති. කඳුරට වොරියර්ස් පිල සනත් ජයසූරියගේ නායකත්වය යටතේ තරග වදින අතර තිලාන් සමරවීර, තිසර පෙරේරා සමග නවසීලන්තයේ ස්කොට් ස්ටයිරිස් වැනි විශිෂ්ට ක්‍රීඩකයන් රැසක් ඇතුලත්ව සිටිති.

ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් නැගෙනහිර නාගාස් කණ්ඩායමට අජන්ත මෙන්ඩිස්, සුරාජ් රන්දීව් ඇතුලුව පාකිස්තානයේ අහමඩ් ෂෙහ්සාඩ්, බංග්ලාදේශයේ මුෂ්ෆිකාර් රහීම්, ඔස්ට්‍රේලියා‍වේ ට්‍රෙවිස් බර්ට් වැනි පළපුරුදු ක්‍රීඩකයන් රැසක් තරග වදිති.

ඌව නෙක්ස්ට් කණ්ඩායම තිළිණ කණ්ඩම්බිගේ නායකත්වය යටතේ තරග වදින අතර දිල්හාර ප්‍රනාන්දු, උපුල් තරංග, සචිත්‍ර ‍සේනානායක සමග පාකිස්තානයේ උමාර් ගුල්, බටහිර ඉන්දීය කොදෙව් පිලේ ශිවනාරින් චන්දර්පෝල් ඇතුලු ප්‍රබල ක්‍රීඩකයන් රැසක් ඌව කණ්ඩායම නියෝජනය කරති.

කෙසේවෙතත් අද එක්සත් අරාබි එමීර් රාජ්‍ය‍යේ දී පාකිස්තානය සහ ඔස්ට්‍රේලියාව අතර එක්දින තරගාවලිය අද ඇරැඹෙන බැවින් එස්.එල්.පී.එල්. තරගාවලියට සහභාගි වූ බොහෝ පාකිස්තාන ක්‍රීඩකයන් අවසන් පූර්ව තරගවටයේ දී දක්නට නොලැබෙනු ඇත. වයඹ පිලට ක්‍රීඩා කළ උමර් අක්මාල්, කඳුරට පිලට ක්‍රීඩා කළ මිස්බා උල් හක්, සයීඩ් අජ්මාල්, සොහේල් තන්වීර්, ඌව පිල නියෝජනය කළ ෂොයිබ් මලික් සිය කණ්ඩායම නියෝජනය කරමින් මේ තරගාවලියට සහභාගි වෙති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා