සන්තෝෂ් - අරවින්ද ගජබා සුපර්ක්‍රොස් ශූරතා දිනති

සන්තෝෂ් - අරවින්ද ගජබා සුපර්ක්‍රොස් ශූරතා දිනති

මෙරට සුපර්ක්‍රොස් යතුරුපැදි ධාවන තරග බිමේ ස්වකීය ආධිපත්‍ය තවදුරටත් පතුරුවාලමින් පිට පිට දෙවැනි වරටත් ගජබා සුපර්ක්‍රොස් ධාවන තරගාවලියේ හොඳම ධාවකයාට හිමි සම්මානය අත්කර ගැනීමට ඉන්දියාවේ සී.එස්.සන්තෝෂ් සමත්විය. මෙවර තරගාවලියේ මෝටර් රථ ධාවන ශූරයන් රැසකගේ බලාපොරොත්තු බිඳ දැමූ සුපිරි මෝටර් රථ ධාවන ශූර අරවින්ද ප්‍රේමදාස පසුගිය වසරේ ඔහුගෙන් ගිලිහී ගිය හොඳම මෝටර් රථ ධාවන ශූරයාට හිමි සම්මානය මෙවර අත්කරගත්තේය.

අනුරාධපුර සාලියපුර ගජබා රෙජිමේන්තු ධාවන පඨයේ පසුගියදා පැවැති 11වැනි ගජබා සුපර්ක්‍රොස් ධාවන තරගාවලියේ දී විශිෂ්ටතම යතුරුපැදි තරගකරුවන් අබිබවා යමින් ස්ලාඩර් වාර්ෂික ශූරතාවලියට අයත් අශ්වබල 250 කාණ්ඩයේ තරග දෙකම වැඩි කලබලයකින් තොරව ජයගැනීමට සන්තෝෂ්ට හැකිවිය. ඔහුට දැඩි අභියෝගයක් එල්ල කිරීමට සමත්වූයේ යොවුන් ධාවන ශූර ෂෙහාන් අධිකාරි පමණි. ඔහු සන්තෝෂ් ජයගත් තරග 2දිම දෙවැනි ස්ථානය අත්කර ගත් අතර මෙරට සුපිරි ධාවන ශූර ගයාන් සඳරුවන් පළමු තිදෙනා අතරට පැමිණීමට ‍අසමත්විය.

ස්ලාඩර් වාර්ෂික ශූරතාවලියේ අශ්වබල 3500 කාණ්ඩයේ සුපිරි මෝටර් රථ ධාවන තරග ඉසව් 2දීම ජය අත්කර ගැනීමට අරවින්ද සමත්විය. පසුගිය වසරේ ගජබා මෝටර් රථ ධාවන ශූරයා වූ පසිඳු පීරිස්ට පළමු තරගයේ දී හිමිවූයේ දෙවැනි තැනය.

මේ අතර අශ්වබල 1600 මෝටර් රථ ධාවන ඉසව්වේ පළමු තරගයෙන් අෂේන් සිල්වා ජයගත් අතර දෙවැනි තරගය ඉෂාක් වහාබ් ජයගත්තේය.

තරග ඉසව් 26කින් සමන්විත වූ මෙවර ගජබා ‍සුපර්ක්‍රොස් ධාවන තරගාවලියේ ක්‍රීඩාලෝලින්ගේ සිත්ගත් අවුරුදු 10න් පහළ අශ්වබල 50 කාණ්ඩයේ යතුරුපැදි ධාවන තරගයේ ජය හිමිවූයේ ෂවිඳු ෂෙනාල්ටය. කේසර දිනෝද් ගොඩගේ ට දෙවැනි ස්ථානයත්, ඉනුක අමේන්ද්‍රට තෙවැනි ස්ථානයත් හිමිවිය.

13න් පහළ අශ්ව බල 85 ‍යතුරුපැදි ධාවන ඉසව්ව ජයගැනීමට බිනුල කිතලගම සමත්විය. 16න් පහළ අශ්වබල 85කාණ්ඩයේ යතුරුපැදි ධාවන ඉසව් 2දීම ජය හිමිවූයේ ජාක්ස් ගුණවර්ධනටය.

ගජබා සුපර්ක්‍රොස් තරගාවලිය ගජබා රෙජිමේන්තුව සහ ශ්‍රී ලංකා මෝටර් රථ සහ යතුරුපැදි ධාවකයන්ගේ සංගමය එක්ව සංවිධානය කරනු ලැබීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා