මගේ නිර්මාණවලින් ඉස්මතු වුණේ අම්මාගේ කවිවල රිද්මයයි

මගේ නිර්මාණවලින් ඉස්මතු වුණේ අම්මාගේ කවිවල රිද්මයයි

නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක

නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායකගේ තිස්පස් වසරක නාවික හමුදා දිවියේ දී රචිත ගීත සහ කවි සංකල්පනා ඇතුළත් “සිදුපති කව් ගී”, කෘතිය සමඟ ‘ඉරහඳ පමණයි’ සහ ‘ හර්ෂණට ලියූ ගී’ සංයුක්ත තැටි දොරට වැඩීම මෙම මස 13වැනිදා ප.ව. 6.30ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වේ. මේ නිමිති කොටගෙන සිදුපති කව් ගී ප්‍රසංගයක්ද පැවැත්වීමට නියමිතය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක සමඟ ‘සිදුපති කව් ගී’ කෘතිය පිළිබඳ කළ සාකච්ඡාවකි.

ඔබගේ තිස්පස් වසරක නාවික හමුදා දිවියේ දී රචිත ගීත සහ කවි සංකල්පනා ඇතුළත් ‘සිදුපති කව් ගී ‘ කෘතියෙහි අන්තර්ගතය සකස්වී තිබෙන්නේ කුමන අයුරින්ද?

“සිදුපති කව් ගී” කෘතියෙහි ඇති සෑම නිර්මාණයකටම වගේ පසුබිම් වී ඇත්තේ මගේ ජීවිතයේ යම් අවධියක ලැබූ අත්දැකීම්. එහි එන අතලොස්සක් නිර්මාණ පමණක් මා ඇසුරු කරන්නෙකුගේ අත්දැකීම් හෝ වෙනත් අයුරකින් අහුලාගත් වස්තු බීජයන් ඇසුරින් නිර්මාණය වූ ඒවා.

මෙහි බොහෝ නිර්මාණවල පදනම ආදරය සහ සෙනෙහසයි. ඊට පාදක වුණේ යෞවනයකු හා යෞවනියක අතර ඇතිවන්නාවූ ආදරය පමණක් නොවෙයි. මවුබිමට, මවුපියන්ට, බිරියට, දූ දරුවන්ට, සොයුරු - සොයුරියන්ට, නෑදෑ හිතමිතුරන්ට, ගමට, පන්සලට, පාසලට, අපේකමට, අහිංසක සතා සිව්පාවුන්ට වගේම ඇළ දොළ, ගහකොළ, මල්වලටද මා දක්වන ආදරය මේ කවිවල ගැබ්වුණා.

වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක කියන නාවික හමුදාපතිවරයාට කලාත්මක වූ කලා සිතක් හිමිවන්නට කුමන පසුබිමක් බලපෑවාද?

මා දූ දරුවන් අට දෙනෙකුගෙන් යුත් පවුලේ බඩ පිස්සා. මේ නිසා පවුලේ හැමෝගෙම ආදරය මට ලැබුණා. අම්මා සඳක් වගේ අපට සිසිල, මෙළෙක බෙදද්දි තාත්තා ඉරවගේ එළිය, ශක්තිය දුන්නා. ඒ විතරක් නොවෙයි, අපට පුංචි පුංචි කතන්දර , උපමා, තේරවිලි, තේරවිලි කවි, කියා දුන්නෙත් තාත්තා. ඔහුට තැනට සුදුසු විදියට යමක් නිර්මාණය කරන්නට වගේම හාස්‍ය උපහාසය දනවන දෑ පවසන්නටත් තිබුණේ අපූරු හැකියාවක් නිතරම ඔහු අපට ඇහෙන්නට කවි කිව්වා.

ඔහු මුමුණන ජනකවි මට තවමත් කටපාඩම්. ඒත් අපේ අම්මා තාත්තාට වඩා වෙනස්. අද අපට ආදරය, දයාව, සෙනෙහස පානවා පමණක් නෙවෙයි ආගමට දහමට කැපවුණු කාන්තාවක් මහ ගෙදර සාලයේ නින්ද යන තුරු පොඩි අක්කටයි මටයි ලස්සන කවි ගායනා කරන හැටි තාමත් මට මතකයි.

අම්මාට ජන වහරේ එන කවි තාලයට ගයන්නට හැකියි. ඔංචිලිවාරම්, පැල් කවි, ගොයම් කවි මා දැනගත්තේ අම්මාගෙන්. සමහර වෙලාවකට අපි අහන කවි ඇගේ නිර්මාණ. මේ කවි නිර්මාණවලට අපි කොයිතරම් ඇලුම් කළාද කිව්වොත් කවි ගීවලට ඇලුම් කරන්නට හදවතට රිද්මයක් ලබාදෙන්නේ ඇගේ මේ කවි නිර්මාණයන්. අපේ කලාත්මක හැඟීම් වර්ධනය කරන්න, අපගේ සිත්තුළ කලාවට ආදරයක් ඇති කරන්න හේතු වුණේ ඇගේ ඒ රිද්මය කියලා කිව්වොත් මා නිවැරැදියි.

ළමයින්ට ළමා ගී රචනා කිරීමට අද බොහෝ දෙනෙක් දක්වන්නේ අසමත්කමක්. නමුත් ඔබ ඒ අභියෝගයට නොබියව මුහුණ දී ‘සිදුපති කව් ගී’ කෘතියට ළමා ගීත කිහිපයක්ද ඇතුළත් කර තිබෙනවා. එහි පැමිණෙන ‘තොප්පි ගොනා’ යන ළමා ගීතය ඔබ ලැබූ අත්දැකීමක්ද?

මට මගේ පුංචි කාලය හොඳින් මතකයි. තාත්තා ‘කුමාරෝදය’ පොත් දෙකක් ගෙනැත් පොඩි අක්කට වගේම මටත් අකුරු කියලා දුන්න විදිය මට අද වගේ මතකයි. මම තවමත් මගේ පුංචි කාලයේ රසය විඳිනවා. සමහර අවස්ථාවලදි ඒ පුංචි කාලයේ මතක අතර සැරිසරනවා. ඕනෑම පැසුණු මිනිසකු තුළ පුංචි දරුවකු ජීවත්වන බවට කියමනක් තිබෙනවා. මා තුළ ද ඒ කුඩා දරුවා තවමත් ජීවත් වෙනවා. අද ඒ දරුවාට මා බෙහෙවින් ආදරෙයි.

කුඩා කල ගත කළ මගේ ඒ සොඳුරු ළමාවිය ළමාගීත ලියන්නට මා පෙලඹෙව්වා. මගේ නිර්මාණ ජීවිතයේදීත් ඒ කාලයේ ලැබූ අත්දැකීම් ළමා ගී ලෙස මේ කෘතියේ එළිදකිනවා. ඒ අතර ‘තොප්පි ගොනා’ගේ ගීතය මා බොහොම ආදරය කළ ගීතයක්. මා ගමේ පාසලට ගියේ බක්කි කරත්තයෙන්. ඒ ගීතයේ ටැංටු කරත්තය කියන්නේ බක්කි කරත්තයට. බක්කි කරත්තයේ බැන්දා ගොනාගේ හිසේ සුදු පැහැති පුල්ලියක් තිබුණා.

ඒ නිසා අපි ඌට කිව්වේ ‘තොප්පි ගොනා’ කියලා. මේ තොප්පි ගොනාට පවුලේ හැමෝම අදරය කළා. ‘තොප්පි ගොනා’ ගීතය බිහිවෙන්නේ ඌට මගේ හිතේ තිබුණු ආදරය නිසාමමයි. ‘තොප්පි ගොනා’ ගේ ගීතය මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ඇගයීමට පවා ලක්වුණ ගීතයක්. ‘පිච්ච කැකුළු’ , ඇත් රජුගේ, ලොකු හාමුදුරුවෝ කියනා ළමා ගීත අයිති වන්නේ ඒ කාණ්ඩයට යි.

ඔබ ලියූ කවි හා ගී පබැදුම් සඳහා ප්‍රවීණ ගීත රචකයන්ගේ නිර්මාණ යම් පෙලඹවීමක් කළාද?

ඒ වකවානුවේ මත වික්ටර් රත්නායක කියන අපේ ගායකයාට බොහෝ ආදරය කළා. කොටින්ම කිව්වොත් වික්ටර් රත්නායක උන්මාදයෙන් පෙළුණා. වික්ටර් රත්නායකයන් මෙන් මා කොණ්ඩය දිගට වැව්වා. ගුරුපත්වීමක් ලැබිලා තරුණ ගුරුවරයෙක් විදියට පාසලට ගියෙත් උරහිස දක්වා කොණ්ඩය වවාගෙන. වැඩිහිටි ගුරුවරු ඊට අකැමැත්ත ප්‍රකාශ කළා. ඒත් මම කොණ්ඩය නම් කැපුවේ නැහැ. මා ආදරය කළ ඒ සොඳුරු ගායකයා ළඟින් ඇසුරු කිරීමට මට අවස්ථාව හිමිවෙන්නේ මීට වසර අටකට පෙරයි.

ඒ හර්ෂණ පුතුට ගීතයක් නිර්මාණය කරන්නට ගිය අවස්ථාවකයි. ඒ වෙලාවේ මා ගීත අසන්නට වගේම ලියන්නට පෙලඹුණේ ඔහු නිසා බව කිව්වා. සුනිල් ආරියරත්න, ප්‍රේමකීර්තිද අල්විස්, කුලරත්න ආරියවංශ වැනි ගීත රචකයන්ගේ ලස්සන ගීතවලට මා බොහොම ඇලුම් කළා.

ඒ නිර්මාණවල තිබෙන ගැමි වහරට මගේ සිතේ අපූරු ඉඩක් තිබුණා. මමත් ඒ හුරුවට ගීත ලියන්න උත්සාහ කළා. ඒ දවස්වල ලිව්ව ගීත කාටවත් පෙන්වූයේ නැහැ. ඒ ගීත මේ කෘතියට ඇතුළත් කරන්න බැරි වුණේ අද ඒවා කොහේද කියලා සොයා ගන්නට නැති නිසයි.

“සිදුපති කව් ගී” කෘතිය එළිදැක්වීම් උළෙල පිළිබඳත් යමක් කියමුද?

යුද්ධය අවසාන වී නොතිබුණා නම් මට මේ නිර්මාණය එළිදැක්වීමට ඉඩ ලැබෙන්නේ නැහැ. මෙවන් සාමකාමී පරිසරයක් නොතිබුණා නම් නිර්මාණ එකතුවක් එළි නොදැක්වීමට ඉඩ තිබුණා. නාවික හමුදාපති නිලයේ සිටියදීම ‘සිදුපති කව් ගී’ ප්‍රසංගය පැවැත්වීමට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනුමැතිය ලබාදී මමත්, ඒ අවස්ථාවට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා, ජනාධිපති ආර්යාව සහභාගිවීමට එකඟවීමත් මට මහත් ආඩම්භරයක්. ප්‍රසංගයේදී ප්‍රවීණ ගායන ශිල්පීන් හා ශිල්පිනියන් රැසක් ගී ගයන්නට නියමිතයි. සංගීතය මෙහෙය වන්නේ රෝහණ වීරසිංහයන් , ප්‍රධාන දේශනය කරන්නේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා