ලොක්කන්ගේ රට සවාරි....!

ලොක්කන්ගේ රට සවාරි....!

රජයේ උසස් නිලධාරීන්ගේ රට සවාරි පිළිබඳ බලවත් ගැටලුකාරී තත්ත්වයක් මතු වී ඇත. මේ සංචාරයන් සඳහා රජය වාර්ෂික ව රුපියල් දසලක්ෂ පන්සියයක් පමණ වැය කරන බවත්, එම සංචාරවලින් රජයට, ජනතාවට හෝ රටේ සංවර්ධනයට ශත පහක ප්‍රයෝජනයක් නැති බවත් දැනගන්නට ලැබේ. රට සවාරිවල එක ම පරමාර්ථය නිලධාරීන්ගේ විනෝදය පමණක් නම්, එය විශාල ජාතික අපරාධයක් බව පෙන්වා දිය යුතු ය. ඇතැම් නිලධාරීන් මේ සංචාරවලින් කිසිදු අධ්‍යාපනයක් ලබා නැත. මෙලෙස සංචාර සඳහා එකතු වන ඇතැම් නිලධාරීන් සිය සංචාරයෙන් පසු ඒ පිළිබඳ වාර්තාවක් හෝ ඉදිරිපත් කර නැතැ’යි දැනගන්නට ලැබේ.

රජයේ විගණන අංශ දැන් මේ පිළිබඳ පරීක්ෂණ පවත්වයි. එහිදී හෙළි වූ තවත් වැදගත් කාරණයක් වන්නේ එක්තරා ආයතනයක්, දින හතක සංචාරයක් සඳහා රුපියල් ලක්ෂ තිස්හතක් වැය කර ඇති බව ය. තවත් ආයතනයක් වසර හතරක කාලය තුළ දී සිය ආයතනයේ නිලධාරීන්ගේ රට සවාරි සඳහා රුපියල් කෝටි හතරකට වැඩි මුදලක් වැය කර තිබේ. එම සවාරි අවිධිමත් බව ද, නිෂ්ප්‍රයෝජන බව ද වාර්තා වී තිබේ. ජනාධිපති කාර්යාලයේ චක්‍ර ලේඛයක් මගින් නාස්තිකාර වියදම් කපා හරින්නැ’යි දැඩි උපදේශයක් ලබා දී තිබියදීත්, ඒවා ගණනකට නොගෙන රට සවාරි සංවිධානය වී ඇතැ’යි දැනගන්නට ලැබී ඇත.

අන්තර්ජාතික ප්‍රදර්ශන, සම්මන්ත්‍රණ, වැඩමුළු හා උත්සව සඳහා නිලධාරීන් දිගින් - දිගට ම සහභාගී වන බව වාර්තා වී ඇත. මෙය එක් අතකින් දියුණු සමාජීය ලක්ෂණයකි. ගැටලුවකට ඇත්තේ එම විදේශීය සංචාරවලින් හා අන්තර්ජාතික සහාගිත්වයෙන් උකහා ගතයුතු දැනුම, කීර්තිය හා ආයෝජන පහසුකම් සාපේක්ෂ වශයෙන් වෙනත් රටවල් සමඟ සසඳා බලනවිට අපේ රට ලබා නැති බව ය. රට සවාරියක් යනු ආයෝජනයකි. එහි උපරිම ප්‍රතිඵල අප ලබාගත යුතු ය. එවැන්නක් සිදුවන බවක් පෙනෙන්නට නැත.

ලෝකයේ ජීවත් වූ ශ්‍රේෂ්ඨ ම බුද්ධිමතුන් හා විචාරකයන් තමන්ට අවශ්‍ය ඥානය උකහා ගත්තේ ලෝකය පුරා විවිධා’කාරයේ සංචාරය කිරීමෙන් ය. සංචාරය කරන ක්‍රමවිධි ගණනාවක් තිබේ. අන්තර්ජාලය ඔස්සේ ද ලෝකය පුරා සංචාරය කළ හැකි ය. ජනමාධ්‍ය ඔස්සේ ද ලෝකය පුරා ගමනක් යා හැකි ය. ඉතිහාසය කියැවීමෙන්ද ලෝකය ගැන අවබෝධයක් ලද හැකි ය. එහෙත් මේ කිසිවක් නිශ්චිත නැත. නිවැරැදි නැත. ඊට වඩා පුළුල් පරාසයක ගමන් කරමින් සත්‍යය සොයා ගැනේ. අභියෝගයක් අප ඉදිරියෙහි පවතී.

ශ්‍රී ලංකාවට අවශ්‍ය විදේශ ප්‍රතිපත්තිය, විදේශ සංචාර හා ඊට අදාළ වෙනත් දේ අප විසින්ම තීන්දු කළ යුතුව තිබේ. අප්‍රිකානු මහද්වීපය, ලතින් අමෙරිකාව පමණක් නොව ආසියාවේ වෙනත් රටවල් ද තීන්දු - තීරණ ගනු ලබන්නේ එම හේතු - සාධක පදනම් කරගෙන ය. අප කළ විමර්ශනයකට අනුව පැහැදිලි වන්නේ ඒ කිසිවක් අපගේ රාජ්‍යතන්ත්‍රය තුළ ඇති නිලධාරී පැළැන්තිය සැලැකිල්ලට ගෙන නැති බව ය. ඔව්හු තමන්ගේ ස්වකීය ආස්වාදයන් පමණක් සැලැකිල්ලට ගන්නා බව හැම විටම පැහැදිලි වී තිබේ.

අපගේ අත්දැකීම් හා විමර්ශනවලට අනුව රාජ්‍ය අංශයේ නිලධාරීනට විශේෂ අවස්ථා ගණනාවක් තිබේ. එම අවස්ථා රටේ යහපත වෙනුවෙන් යොදාගත යුතු වුව වැඩිපුරම දකින්නට ලැබෙන්නේ එම අවස්ථා පෞද්ගලික සුඛවිහරණය සඳහා යොදා ගන්නා බවකි. රාජ්‍ය ආයතනවල ඇතැම් උසස් නිලධාරීන් වසරකට අට වතාවක් රට සවාරි ගිය අවස්ථා අපට වාර්තා වී තිබේ. වසරක් තුළ රට සවාරි අටක් යනවා යනු ඔහු රටට කිසිදු දෙයක් එම වර්ෂය තුළ සිදුකර නැති බව කීමට ඇති ප්‍රබල සාක්ෂියකි. මෙබඳු විවේචන කොතෙක් ඉදිරිපත් වුව ඒවා ගණන් නොගන්නා තත්ත්වයක් රටේ රාජ්‍ය අංශයේ උසස් නිලධාරීන් තුළ පවතී.

රාජ්‍ය නිලධාරියකු අධ්‍යයන කටයුත්තක් සඳහා විදේශගත වන්නේ නම්, එය රටට හා රාජ්‍යයට ගැළපෙන ලෙස බැඳුම්කරයකට එක්වීමේ නීතියක් රටේ පවතී. බොහෝ දෙනා එම නීතියට අනුව බැඳුම්කර අස්සන් කොට රට යති. එහෙත් සමහරු රට නවතිති. පෙරළා මවුබිමට පැමිණ සේවය භාර නොගනිති.

එවිට බැඳුම්කරයට සිදුවන්නේ කුමක් ද? රජය ඔහු හෝ ඇය වෙනුවෙන් වැය කළ මුදලට සිදුවන්නේ කුමක් ද? කිසියම් පුද්ගලයකු එබඳු බැඳුම්කරයකට අස්සන් තබා විදේශීය චාරිකාවක හෝ අධ්‍යයන නිවාඩුවක හෝ නිරත වුවහොත් ඒ සම්බන්ධයෙන් වගකීමකට බැඳී සිටීමට අදාළ ශිෂ්‍යත්වලාභියා ඉදිරිපත් විය යුතු ය. එය නෛතික තත්ත්වයකි. එහෙත් එම නෛතික තත්ත්වයන්ද ඉක්මවා ගොස් බලය මූලිකකොට කටයුතු කරන පිරිස් සිටිති. ඔව්හු මේ සියල්ල කාබාසිනියා කරති.

අප ලබාගත් තොරතුරුවලට අනුව සමහර රාජ්‍ය නිලධාරිහු ඊමේල් පණිවිඩ යවමින් අන්තර් ජාතික ප්‍රදර්ශනවලට සහභාගී වීම සඳහා ආරාධනා පත්‍ර ගෙන්වා ගනිති. ඉන්පසු රාජ්‍යානුග්‍රහය මත ඔව්හු විදේශීය සවාරි සැලැසුම් කර ගනිති. ගැටලුව ඇත්තේ මේ විදේශ සවාරිවලින් කිසිදු සාධනීය තත්ත්වයක් හෝ ප්‍රවණතාවක් හෝ ඇති නොවීම ය.

මෙයට වගකිව යුත්තේ කවරහු ද? නිලධාරින් රට සවාරිවලට කැමැති ය. ඔවුන් ඒ ඔස්සේ උපරිම ‍ෙපෟද්ගලික ආස්වාදය ලැබීමටද කැමැතිය. ඒ කිසිවක් රටට වැඩක් නැත. රාජ්‍යයට වැඩක් නැත. ජනතාවට වැඩක් නැත. එබැවින් රට සවාරි පිළිබඳ නිශ්චිත ප්‍රතිපත්තියක් සකස් කළ යුතු ය. එය ක්‍රියාත්මක කළ යුතු ය. මේ ගැටලුව විසඳාගත හැක්කේ එබඳු විශ්ලේෂණ මාර්ගයක් ඔස්සේ පමණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා