ලංකා පුවත් පතින් දළදා මාලිගාවට අපහාස කරලා

ලංකා පුවත් පතින් දළදා මාලිගාවට අපහාස කරලා

මහ නාහිමිවරු ජවිපෙ නායකයාට දන්වති

ජනතා විමුක්ති පෙරමුණේ නිල පුවත්පත වන ලංකා පුවත්පතේ ඔක්තෝබර් 7 වැනි දින පළ වූ පුවතක් මගින් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් මහනුවර ශ්‍රී දළදා මාලිගාවට අගෞරවයක් සිදු වී ඇති බැවින් එම ලිපිය පළකිරීම සම්බන්ධයෙන් සුදුසු පියවර ගන්නා ලෙස මල්වතු අස්ගිරි මහා නාහිමිවරු එම පක්‍ෂයේ නායක සෝමවංශ අමරසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටිති.මහා නාහිමිවරුන් සෝමවංශ අමරසිංහ මහතා වෙත යවා ඇති ලිපියේ මෙසේ ද සඳහන් වේ.

එම ලිපිය කියවන පාඨකයන් තුළ දියවඩන නිලමේවරයා සම්බන්ධයෙන් පමණක් නොව ශ්‍රී දළදා මාලිගාව හා දන්ත ධාතුන් වහන්සේ විෂයෙහි ද බලවත් අගෞරවයක් ජනිත වෙතැයි යනු අපගේ පිළිගැනීමයි. සමස්ත ලෝකවාසී බෞද්ධ ජනයා ජීවමාන බුදුරජාණන් වහන්සේ ලෙස සලකා වන්දනාමාන කරන අති උත්තම ශශ්‍රී දළදා වහන්සේ මෙම ලියුම්කරු හඳුන්වාදෙන්නේ “බුදුන් වහන්සේගේ යැයි සැලකෙන දන්ත ධාතුව හේතුවෙන් බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ ලෙස දළදා මාලිගාව පිළිගැනේ” යනුවෙනි.

මෙම සටහන තුළින්ම ලියුම්කරු අති උතුම් ශ්‍රී දළදා වහන්සේ කෙරෙහි නිසි විශ්වාසයකින් හා ශ්‍රද්ධා භක්තියකින් යුතුව එම ලිපිය සම්පාදනය කොට ඇති බවක් අපට දක්නට නොලැබේ. ලිපියේ ආරම්භයේ සිටම ද්වේශ සහගත සිතින් අසත්‍ය කරුණු ඉදිරිපත් කරමින් රජයේ අණපනත් වැරදි ලෙස වටහාදෙමින් අධිකරණය දුන් තීන්දු අභියෝගයට ලක්කරමින් ප්‍රධාන වශයෙන් දියවඩන නිලමේවරයාට පෞද්ගලිකව අපහාසයක් සිදුකිරීමේ අරමුණින් ලිපිය සම්පාදනය කොට ඇති අතර, එමගින් ශ්‍රී දළදා මාලිගාව සම්බන්ධයෙන් බෞද්ධ ජනතාව තුළ පවත්නා අසීමිත ගෞරවාදරයට වන හානිය ගැන කල්පනා කර නොමැත. මේ ආකාරයෙන් ඔබ පුවත්පත ද්වේශසහගත ක්‍රියාවන්ට යොදාගැනීමට ඉඩ සැලසීම යුතු නොවේ.

මෙසේ ඔබ පක්ෂයෙහි පුවත්පතක් තුළ සම්බුද්ධ ශාසනයේ හා ඉපැරණි බෞද්ධ සිද්ධස්ථානයන්හි චිර පැවැත්මට හානිකර අන්දමේ අසත්‍ය මඩ ප්‍රහාරක පුවත් පළවීම ඔබතුමා විසින් කිසිසේත් අනුමත නොකරනු ඇතැයි අපගේ විශ්වාසයයි. එබැවින් මෙම වාර්තාව පළකිරීම පිළිබඳව සුදුසු පියවර ගන්නා මෙන් ඉල්ලා සිටුම්හ.

 

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා