ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

දිවි නැඟුම පෙත්සම කතානායකට නොදී මහ ලේකම්ට දීමෙන්

ශ්‍රේෂ්ඨාධිකරණය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරලා

කතානායක පාර්ලිමේන්තුවට ප්‍රකාශ කරයි

* පාර්ලිමේන්තු බලතල සීමා කරන්න දෙන්න බෑ

* විධායකය-ව්‍යවස්ථාදායකය-අධිකරණය සමගාමී විය යුතුයි

දිවි නැඟුම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සමේ පිටපතක් කතානායකවරයාට බාර නොදී පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට බාර දීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (9) ප්‍රකාශ කළේය.

කතානායකවරයා එසේ ප්‍රකාශ කළේ දිවි නැඟුම පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරිපත් කර තිබු පෙත්සමක පිටපතක් පාර්ලිමේන්තු ලේකම්වරයාට බාර දීම සම්බන්ධයෙන් සිය තීරණය ප්‍රකාශ කරමිනි.

එම සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයන් සමඟ තමන් සාකච්ඡා කළ බවත් කතානායකවරයා පැවසීය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව යම් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කරන විට එහි පිටපතක් කතානායකවරයාට ලබා දිය යුතු බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 වගන්තියේ දැක්වෙන බව පැවසූ කතානායකවරයා එය වෙනත් පාර්ශවයකට ලබා දීම මඟින් කතානායකවරයාට නිසි පරිදි කටයුතු කිරීමට ඉඩ නොලැබෙන බවත් කීවේය.

එමෙන්ම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ව්‍යවස්ථානුකූලව කටයුතු කිරීමේදී ගැටලු මතුවන බවත් කතානායකවරයා සඳහන් කළේය.

එහිදි වැඩිදුරටත් කතානායකවරයා මෙසේද සඳහන් කෙළේය.

මේ සම්බන්ධයෙන් කිසිම තීරණයක් දීමට මා කැමැති නැහැ. එවැන්නක්, ශ්‍රේෂ්ඨාධිකරණ බලතල වලට අත ගැසීමක් වෙන්න පුළුවන්. ශ්‍රේෂ්ඨාධිකරණය මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි. ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන ක්‍රම රැක ගත යුතුයි. විධායකය, ව්‍යවස්ථාදායකය හා අධිකරණය සමගාමිව කටයුතු කළ යුතුයි. මගේ උත්තරීතර ධුරය අනුව ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කරනවා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අධ්‍යයනය කර මා කටයුතු කරනවා. පාර්මේන්තුවේ දීර්ඝ කාලීන ක්‍රියාමාර්ග හා පරිචයන් ද මා ඉවහල් කර ගත්තා. ශ්‍රේෂ්ඨාධිකරණ තීරණයක් පාර්ලිමේන්තුවේ කතානායකවරයාට බාර දිය යුතු වුවත්, පාර්ලිමේන්තු ලේකම්වරයාට බාරදීම පාර්ලිමේන්තු ක්‍රියාදාමයට බලපාන ගැටලුවක්. පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට කතානායකවරයා වෙනුවට කටයුතු කළ නොහැකියි. මහ ලේකම්වරයාට කතානායකවරයා වෙනුවෙන් පෙනි සිටිමට හැකි නම් ඒ සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් තිබිය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) වගන්තිය අනුව ජනාධිපතිවරයා විසින් කරන ලද යොමු කිරිමක් හෝ ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කරන පෙත්සමක් පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට නොව කතානායකවරයාට භාර දිය යුතුයි. එවැනි පෙත්සමක් මහ ලේකම්වරයාට භාර දුන්නේ නම් එය පාර්ලිමෙන්තුවට භාරදිමක් ලෙස පිළි ගත නොහැකියි.

දිවි නැගුම පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පාර්ලිමේන්තු මහ ලේකම්වරායට ඉදිරිපත් කිරීම පිළිබඳ විශේෂ ප්‍රකාශයක් කරමින් තමා ලබා දුන් තීරණයේ පිටපතක් ජනාධිපතිවරයාට හා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන්ට යොමු කරන ලෙස පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට මා නියෝග කරනවා. මහජනතාවට මෙම තීරණය ගැන දැන ගැනීම සඳහා හැන්සාඩ් වාර්තාවේ පළ කරන අතර, පාර්ලිමේන්තු වෙබ් අඩවියටද මෙය ඇතුලත් කරන ලෙසට නියෝග කරමි.

ඊට අමතරව ජනමාධ්‍ය මඟින් පළ කරන ලෙසත් පාර්ලිමේන්තු වරප්‍රසාද හා පොත් පත්වලටද ඇතුලු කරන ලෙසත් මා නියෝග කරනවා.

පාර්ලිමේන්තු බලතල සීමා කිරිමට ඉඩදිය නොහැකියි. එය ජනතා පරමාධිපත්‍යයයට මරු පහරක් වෙනවා. ජනාධිපතිතුමාට හා අගමැතිතුමාට පසුව බලතල තිබෙන්නේ කතානායකවරයාටයි. මහලේකම්වරයා යනු ජනාධිපතිවරයා විසින් පත් කරන ලද තනතුරක්.

මහ ලේකම්වරයාගේ බල තල ස්ථාවර නියෝග අනුව ඉතා සීමිතයි. කතානායකවරයා හා මහ ලේකම්වරයාට ඇති බලතල වෙනස් බව ව්‍යවස්ථාවේ පැහැදිළිව දැක්වෙනවා. කතානායකවරයා වෙනුවෙන් කිසිම ලියවිල්ලක් භාර ගැනිමට මහ ලේකම්වරයාට බැහැ.

යම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ පසු ඒ ගැන දින 21ක් ඇතුළත නියෝගයක් ගෙන එම තිරණය කතානායකවරයාට දිය යුතුයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121 (3) අනුව කතානායකරවයාට භාර දිම අනිවාර්ය කර තිබෙනවා. පනත ගැන කුමන පියවර ගත යුතුදැයි මන්ත්‍රිවරුන්ට දැන්විම මහ ලේකම්වරයා සතු කාර්යයක් නොවේ. එහි මූලික කරුණ ඇත්තේ කතානායකවරයාටයි. ශ්‍රේෂ්ඨාධිකරණ පෙත්සමක් කතානායකවරයාට ලබා දිය යුතුයි. ඒ ගැන ගතයුතු ක්‍රියා මාර්ග කතානායකවරයා තීන්දු කරනවා ඇති. අධිකරණය හා පාර්ලිමේන්තුව අතර ගැටුමක් නිර්මාණය විම වැලැක්විමටයි කටයුතු කළ යුත්තේ.

පාර්ලිමේන්තුවේ උත්තරිතරභාවය රැකිම සම්බන්ධයෙන් ව්‍යවස්ථා සම්පාදකයින්ට ස්තුතිවන්ත වෙනවා. ජනාධිපතිවරයාට හෝ විනිසුරුවරයෙක් සඳහා දෝෂාභියෝගයක් වැනි අවදානමකදි ව්‍යවස්ථාවේ 107 (1) සඳහන් වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් විශ්ලේෂණය කරන විට එවැනි දැනුම් දිමක් කතානායකවරයා වෙනුවෙන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් භාර ගැනිම විශාල සංකීර්ණ ගැටලු ඇති කරන්නක්. එමගින් දරුණු ප්‍රතිඵල ඇති විය හැකියි. එවැනි දෝෂාභියෝගයකදී කතානායකවරයාට ඇති බලතලවලට ඇඟිලි ගසමින් ක්‍රියා කිරීමට මහලේකම්වරයාට බලයක් නැහැ.කතානායක බලතල කාටවත් ලබා ගත නොහැකියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා