ද.ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ජනපති අතින් මීපේ දී විවෘත කෙරේ

ද.ආසියා ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ජනපති අතින් මීපේ දී විවෘත කෙරේ

දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය ස්ථාපිත කිරිම සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (9) සිදු කෙරිණි.

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ සංකල්පයකට හා යෝජනාවකට අනුව ක්‍රියාත්මක කරන ලද මේ මධ්‍යස්ථානය මීපේ ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබේ. දකුණු ආසියානු ගුරු මධ්‍යස්ථානය ස්ථාපිත කිරිම සහ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීම නිල වශයෙන් ප්‍රකාශයට පත්කළ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ දකුණු ආසියානු කලාපීය අධ්‍යාපනයේ ගුණාත්මක සංවර්ධන අරමුණු සාක්ෂාත් කරනු වස් මහින්ද චින්තන ඉදිරි දැක්මට අනුව ශ්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ සහාය සහ අධ්‍යාපන ඇමැතිවරයාගේ මුල පිරීමෙන් කළ බවයි.

ඊට අමතරව යුනෙස්කෝ ජාත්‍යන්තර සමුළුවේ අනුමැතිය සහ අනුග්‍රහය ඇතිව ශ්‍රී ලංකා රජයේ මූල්‍ය දායකත්වය යටතේ ලෝක ගුරු දිනයට සමඟාමීව පාදුක්ක ජාතික අධ්‍යාපන ආයතන පරිශ්‍රෙය්දී ස්ථාපිත කිරීමට හැකිවූ බවද සඳහන් කළේය. රුපියල් මිලියන 12 ක ප්‍රතිපාදන මත ඉදිකර තිබෙන සහ ප්‍රතිසංස්කරණය කිරීමකට ලක්වූ මේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විද්‍යාගාරය පරිගණක 100 කින් සමන්විත වන අතර අති නවීන තාක්ෂණික උපකරණ වලින්ද සමන්විතයි.

දකුණු ආසියානු ගුරු මධ්‍යස්ථානය ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීමෙන් මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රෙය් පර්යේෂණ සිදු කරන්නන්, විෂය සම්පාදකයන් ඇතුළු වෘත්තිමය ගුරුභවතුන් පුහුණු කිරීමට අවස්ථාව සැළසෙන අතර වැඩමුළු, පර්යේෂණ, සම්මන්ත්‍රණ මෙන්ම දේශීය හා විදේශීය ගුරුවරුන් පුහුණු කිරීම වෙනුවෙන් අවස්ථාව සැළසේ.

ඊට අමතරව මේ මගින් අදාළ ක්ෂේත්‍රයට ප්‍රතිලාභ රැසක් අත්වන අතර ගුරු අධ්‍යාපනයේ ගුණාත්මකභාවය හා ප්‍රමිතීන් වැඩි දියුණු කිරීම, ගුරු අද්‍යාපනඥයන් උදෙසා ඉහළ මට්ටමේ වෘත්තීය සුදුසුකම් ලබා ගැනීමට අවස්ථාව උදාකර දීම, විෂය මාලා සම්පාදකයන් පුහුණු කිරීම තුළින් ගුණාත්මක අධ්‍යාපනය සංවර්ධනය, ගුරු අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබදව විවිධ පර්යේෂණ හා නව සොයා ගැනීම් සිදු කිරීම ආදිය ඒ අතර වෙයි.

මෙය කලාපයේ අධ්‍යාපනයට සුබවාදී පරිවර්තනයක් වන අතර ඒ වෙනුවෙන් යුනෙස්කෝ ආයතනයේ අනුමැතියද ලැබී තිබේ. මේ දකුණු ආසියානු ගුරු සංවර්ධන මධ්‍යස්ථානය අදියර තුනක් යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එය ලබන 2015 වර්ෂයේදී අවසන් කිරීමට නියමිතයි. ඒ වෙනුවෙන් වැය කෙරෙන සමස්ත මුදල රුපියල් මිලියන 578 කි.

ඒ අනුව දේශීය මෙන්ම දකුණු ආසියානු සෙසු රටවල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් පුහුණු කිරීම සදහා මෙය යොදා ගැනෙන අතර 400 දෙනෙකුට එකවර පුහුණු කිරීමේ අවස්ථාව සැළසේ. ඊට අමතරව 500 දෙනෙකුට නේවාසික පහසුකම්ද ලබා දෙයි.

අවුරුදු තුනක නේවාසික පුහුණුවක් වන මේ සදහා ශ්‍රී ලාංකිකයන් 200 දෙනෙකු හා විදේශිකයන් 200 දෙනෙකු තෝරා ගන්නා අතර අධ්‍යාපනවේදී කළමනාකරණ උපාධිය මෙන්ම අධ්‍යාපන විද්‍යාපති උපාධියද පිරිනැමීමට කටයුතු කෙරේ.

ඇමැතිවරුන් වන ගාමිණී ලොකුගේ, බන්දුල ගුණවර්ධන, ඩලස් අලහපෙරුම, නියෝජ්‍ය ඇමැතිවරුන් වන ගීතාංජන ගුණවර්ධන, විජිත් විජයමුණි සොයිසා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මොහාන්ලාල් ග්‍රේරු, තිලංග සුමතිපාල, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය ජයරත්න, ශ්‍රී ලංකාවේ පාකිස්තාන මහ කොමසාරිස් ෂීමා බාලොච් මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා