ලෝක දෘෂ්ටි දිනය හෙට

"දියවැඩියාව නිසා ඇති වන අන්ධභාවය වළක්වා ගනිමු"

ලෝක දෘෂ්ටි දිනය හෙට

ලෝක දෘෂ්ටි දිනය හෙටට (11) යෙදී ඇත. "දියවැඩියාව නිසා ඇති වන අන්ධභාවය වළක්වා ගනිමු" මෙවර ලෝක දෘෂ්ටි දිනයේ තේමාව වේ.

දියවැඩියා‍ රෝගීන්ගේ ඇස් අන්ධ වීමේ ප්‍රවනතාව සාමාන්‍ය පුද්ගලයකුගේ මෙන් දෙගුණයකින් ඉහළ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි.

කිසියම් පුද්ගලයකු දියවැඩියාව රෝගයෙන් පෙළෙන්නේ නම් වසරකට එක් වරක්වත් අක්ෂි පරීක්ෂාවක් සිදු කැර ගැනීමෙන් දෘෂ්ටි ආබාධ වළක්වා ගත හැකි යැයි ද ඒ මහතා ප්‍රකාශ ‍ෙකළේය.

ලෝක දෘෂ්ටි දිනය නිමිත්තෙන් සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය සම්මන්ත්‍රණය අමතමින් ඒ මහතා මේ බව ඊයේ (09) පැවැසුවේය. මාධ්‍යවේදීන්ගේ අක්ෂි පරීක්ෂාවක් ද මෙහිදී සිදුකෙරිණ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂන් 2020 ලේකම් කාර්යාලය හා සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශය එක්ව මේ වැඩසටහන සංවිධානය කර ති‍බිණ.

ලොව පුරා පුද්ගලයින් මිලියන 285 ක් අන්ධභාවයට පත්ව සිටියි. මේ අතරින් සියයට 80 ක් වළක්වා ගත හැකි හේතු නිසා අන්ධභාවයට පත්වූවන් ය. මෙසේ අන්ධභාවයට පත්වූවන්ගෙන් සියයට 90 ක්ම සංවර්ධනය වන රටවල ජීවත් වන්නන් ය.

පවුලක පුද්ගලයකු අන්ධභාවයට පත්වීම පුද්ගලයාට, පවුලට සහ රටේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කෙරේ. අන්ධභාවයට ලක්වූවන් පුනරුත්ථාපනයට පහසුකම් සැලැස්වීම සහ අන්ධභාවයට ලක්වීම අවම කිරීම අරමුණු කරගෙන ලෝක දෘෂ්ටි දිනය සැමරීම සිදුකෙරේ.

රට පුරා පවත්වන සියලුම දියවැඩියා සායනවල අක්ෂි පරීක්ෂාව සිදු කිරීමට පියවර ගත යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මේ අවස්ථාවට සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය නීලමණී රාජපක්ෂ, ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ, රාගම ශික්ෂණ රෝහලේ විශේෂඥ ‍අක්ෂි වෛද්‍ය බිනර අමරසිංහ මහත්ම මහත්මිහු ද සහභාගී වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා