කොරෙක්ස් තහනම්

කොරෙක්ස් තහනම්

කොරෙක්ස් (Corex) වෙළඳ නාමය සහිත කැස්සට ලබාදෙන සියලුම සිරප් වර්ග රට පුරා අලෙවිය හා භාවිතය වහාම තහනම් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. ඊ‍ට අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක මහතාට උපදෙස් ලබාදී තිබේ.

ඒ අනුව කොරෙක්ස් සිරප් වර්ගය මෙරට අලෙවිය හා භාවිතය ඊයේ (9) සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කරන බව ඖෂධ ව්‍යවස්ථාපන අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා පවසයි. ඇස්ට්‍රොන් (Astron) සමාගමෙන් නිෂ්පාදනය කරන මේ සිරප් වර්ගය අධික ලෙස පානය කිරීම නිසා මේ වන විට පුද්ගලයන් හයදෙනකු මරණයට පත්ව තිබේ.

වෛද්‍ය නිර්දේශයකින් තොරව පෞද්ගලික ඔසුසල්වලින් නිකුත් කරන මේ සිරප් වර්ගය අධි මාත්‍රාව වශයෙන් මත් වීම සඳහා පාවිච්චි කිරීම නිසා මේ මරණ සිදු වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

මීට පෙර අධි මාත්‍රාව වශයෙන් මේ සිරප් වර්ගය භාවිත කිරීම නිසා පුද්ගලයන් පස්දෙනකු මරණයට පත්ව ඇත. හයවැනියා ඊයේ (9) දිනයේදී මරණයට පත්ව ඇති බවත් තවත් අයෙක් මේ වන විට කොළඹ ජාතික රෝහ‍ලේ 55 වාට්‍ටුවේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින බවත් අමාත්‍යාංශය පවසයි.

ඖෂධ ව්‍යවස්ථාපන අධිකාරියත්, ශ්‍රී ලංකා පොලීසියත් එක්ව ඔසුසල් වැටලීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙන අතර මරණයට පත් වූ පුද්ගලයන් සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ පවත්වා එම වාර්තා වහාම ලබාදෙන ලෙස අදාළ පාර්ශ්වයන්ට දැනුම් දී ඇති බව ද අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා