ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 63යි

ශ්‍රී ලංකා යුද හමුදාවට වසර 63යි

ශ්‍රී ලංකා යුද හමුදාවට අද 10 වන දිනට හැටතුන් (63) වසරක් සපිරෙයි.

අද අභිමානවත් ලෙස එම වර්ෂ පූර්ණය සැමරේ. 1949 වර්ෂයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදාව රෙජිමේන්තු 27ක් පෙරටු කර ගනිමින් ඓතිහාසික ගමනක් ගොස් තිබේ. මේ අභිමානවත් සැමරීම සනිටුහන් කිරීම වස් පසුගිය ඔක්තෝබර් 01 වැනිදා සිට 06 වැනි දින දක්වා විවිධ ආගමික වතාවත් සිදු කරමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා ඇතුªළු සමස්ත යුද හමුදාවට සෙත් පැතීම සහ ආශිර්වාද සිදු කෙරුණි.

2009 වර්ෂයේ මෙරට ත්‍රස්තවාදීන්ගෙන් මුදා ගැනීමෙන් පසු මේ කාලවකවානුවේ හමුදා විරුවෝ රටෙහි ජාතිය ගොඩනැංවීමේ සංවර්ධන කටයුතුවල නිරත වෙමින් සිටියි. 63 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව ඔක්තෝබර් 01 වන දින අනුරාධපුර ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේ අභියස දී යුද හමුදා ධජයට සහ අනෙකුත් ධජයන්ට සංකේතාත්මකව සෙත් පැතීම සිදු විය.

ඊට අමතරව හින්දු, මුස්ලිම් සහ ක්‍රිස්තියානි ආගම්වල ආශිර්වාද ලබාගැනීම පසුගිය 2, 3 සහ 4 යන දිනයන්හිදී පොන්නම්බලම් විනේෂ්වර් කෝවිල දවටගහ ජුම්මා මස්ජිද් පල්ලිය සහ බොරැල්ල සියලු ශාන්තුවරයන්ගේ දේවස්ථානයන් වලදී සිදුකෙරුණි.

ඔක්තෝබර් 05 වැනි දින පනාගොඩ යුද හමුදා බෝධිරාජාරාමයේ දී සංඝගත දක්ෂිණාව හා පිරිත් සජ්ඣායනාවක් සහ පසු දින උදෑසන හීල් දානය සහ සංඝයා වහන්සේ 63 නමකට දහවල් දානය පිරිනැමුණි.

අද (10) කොළඹ 07 පිහිටි සී. ආර්. ඇන්ඩ් එෆ්. සී. ක්‍රීඩාංගණයේ දී සම්මාන පෙළපාලියක් පැවැත්වීමටද එහි ප්‍රධාන අමුත්තා ලෙස යුද හමුදාපතිවරයා සහභාගී වීමටද නියමිතව ඇත. යුද හමුදා ධජය එසවීම, රට වෙනුවෙන් දිවි පිදූ රණවිරුවන් සිහිපත් කිරීම, සම්මාන පෙළපාලිය පැවැත්වීමද අද දින සිදුකෙරේ.

රට වෙනුවෙන් සටන් වැදී ආබාධිත තත්ත්වයට පත්ව සිටින අත්තිඩිය මිහිදු සෙත් මැදුරෙහි යුද හමුදාපතිවරයා සහ එම මැතිනිය, හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග සංචාරයක යෙදීමටද නියමිතව ඇත.

අනතුරුව වසරක් පාසා ආබාධිත රණවිරුවන් වෙනුවෙන් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් වෙනුවෙන් පැවැත්වූ රංගන සාදය මෙවරද පැවැත්වීමට ඬයමිතව ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා