ඇදුරු වැඩ වැරුම හෙටින් අවසන්

ඇදුරු වැඩ වැරුම හෙටින් අවසන්

මාස තුනකට අධික කාලයක් ක්‍රියාත්මක කළ වැඩවර්ජනය හෙට (11) දහවල් වන විට නතර කිරීමට හැකිවෙතැයි විශ්වාස කරන බව විශ්වවිද්‍යල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනයේ ලේකම් ආචාර්ය ටෙරන්ස් මදුජිත් මහතා "දිනමිණ"ට පැවසීය.

ආචාර්යවරුන‍්ගේ වැටුප් සම්බන්ධයෙන් වු ඉල්ලීමට මුදල් අමාත්‍යංශ ලේකම්වරයා ලබා දුන් නව වැටුප් රාමුව සියලු විශ්වවිද්‍යාලවල කණිෂ්ඨ සංගම්වලට අද (10) දිනයේ යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් කණිෂ්ඨ සංගම්වල අනුමැතිය හිමි වු පසු එම ලියවිල්ල විධායක කමිටුවට යොමු කර අනුමත කරවා ගත යුතු බවත් මදුජිත් මහතා කීවේය. විධායක කමිටුවේ අනුමැතිය ප්‍රකාශයට පත් කළ පසු වැඩවර්ජනය නතර කිරීමට පියවර ගන්නා බව ද ඒ මහතා කීය.

විශ්වවිද්‍යාල ආචාර්යවරු සඳහා සකස් කළ නව වැටුප් රාමුව සම්බන්ධයෙන් මුදල් අමාත්‍යංශය හා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති සම්මේලනය අතර එකඟතා ගිවිසුමක් ද අත්සන් කළ බව එම සංගමයේ උප සභාපති දඹර අමිල හිමියෝ පැවසුහ.

වැඩවර්ජනය නතර කළ පසු මෙතෙක් අතපසු වු විභාග, පාඨමාලා හා දේශන ආදිය වැඩි කාලයක් යොදවා අධිවේගයෙන් පවත්වන්නට පියවර ගන්නා බවත් උසස් පෙළ උත්තර පත්‍ර ඇගයීමේ කටයුතු ද වෙනදාට වඩා වැඩි වේගයෙන් නිම කිරීමට කටයුතු කරන බවත් උන් වහන්සේ පැවසූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා