ලංගම යෝධ පිම්මකට ලෑස්තියි

ලංගම යෝධ පිම්මකට ලෑස්තියි

රෝහණ දිසානායක

ප්‍රවාහන නියෝජ්‍ය ඇමැති

රටක් සංවර්ධනය වීමේ දී ඊට බලපාන මූලික සාධකයක් වනුයේ ප්‍රවාහනය යි. එහිදී නිසි මාර්ග පද්ධතියක අවශ්‍යතාව ද ඉතා වැදගත් ය. රටේ මාර්ග පද්ධතියේ සිදුවෙමින් පවතින දියුණුව මෙරට වැසියන්ට අද අත් දකින්නට හැකි ය. එහෙත් ප්‍රවාහන පද්ධතියේ ඇති අඩු ලුහුඩුකම් රටේ ආර්ථිකයට ඍජුවම බලපාන බව පැහැදිලි ය. මගී ප්‍රවාහනය සම්බන්ධයෙන් ද නැගෙන චෝදනාවල අවසානයක් නැත. ඊට විසඳුමක් ලෙස ලංකා ගමනා ගමන මණ්ඩලයට බස් රථ 3000 ක් එක් කිරීමට ප්‍රවාහන අමාත්‍යාංශය තීරණය කර ඇති බවට පසුගියදා මාධ්‍ය වාර්තා පළ විය. ඒ සම්බන්ධයෙන් කරුණු විමසීමට අප ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා හමුවීමු.

රටේ මගී ප්‍රවාහන අවශ්‍යතා විධිමත් කිරීමට අලුතින් බස්රථ 3000 ක් ලංගමට ලබාදීමේ සූදානමක් ගැන පසුගියදා මාධ්‍ය වාර්තා පළ වුණා. මෙහි ප්‍රායෝගික තත්ත්වය කොහොම ද?

ප්‍රවාහන අමාත්‍යාංශය හැටියට අපේ වගකීම තමයි නිසි කලට නිසි තැනට, බාධාවකින් තොරව මගියාගේ හෝ භාණ්ඩවල ප්‍රවාහන අවශ්‍යතාව සම්පූර්ණ කර දීම. මෙහිදී විශේෂයෙන්ම මගී ප්‍රවාහනය ගැන අවධානය යොමු කරන්න ඕනෑ.

මගීන් වැඩි පිරිසක් පොදු ප්‍රවාහන සේවයෙන් සිය අවශ්‍යතාව සපුරා ගන්නවා. ඉතා අතළොස්සක් සිය පෞද්ගලික රථයෙන් ප්‍රවාහන අවශ්‍යතාවන් සපුරා ගන්නවා.

අද ලංගම සතු බස්රථවලින් දැනට ධාවනයේ යොදවා තියෙන බස්රථ වැඩි ගණනක් නියමිත දුර ප්‍රමාණයන් ඉක්මවා ධාවනය කළ ඒවා. සාමාන්‍යනේ බස් රථයක් කිලෝ මීටර් ලක්ෂ 5ක පමණ දුර ධාවනය කළ පසු එහි ප්‍රශස්ත මට්ටම අඩුවෙන්න පටන් ගන්නවා.

සමහර බස්රථ කිලෝ මීටර් ලක්ෂ 10 ත් ඉක්මවා ධාවනය කර තියෙනවා. අපේ ඉන්න ඉංජිනේරු කාර්මික පිරිසගෙ උනන්දුවත් උද්‍යෝගයත් මත තමයි මෙවැනි තත්ත්වයක් මත හෝ අද මේ ප්‍රවාහන සේවය පවතින්නෙ. ඉතින් අද මේ ධාවනයේ යොදවා තිබෙන බස් රථ වෙනුවට අලුතින් බස්රථ එකතු කරලා මගී ප්‍රවාහනයේ යෝධ පිබිදීමක් ඇති කිරීමේ අරමුණින් තමයි මේ බස්රථ ගෙන්වන්නට සැලසුම් කරල තියෙන්නෙ. ඒ සඳහා අපි දැන් මූලික සාකච්ඡා ආරම්භ කරලයි තියෙන්නෙ.

හොඳයි. දැන් මේ බස් රථ 3000 ගෙනාවම පරණ බස්රථ කොපමණ ප්‍රමාණයක් ධාවනයෙන් ඉවත්වීමට නියමිත ද?

බස්රථ 3000 ක් අලුතින් ගෙනාවට තවත් 3000 ක් ධාවනයෙන් ඉවත් වෙන්නෙ නැහැ. අපට හොඳ ධාවන තත්ත්වයේ බස්රථ තියෙනවා. නමුත් එයිනුත් 1500 ක් විතර අපි ධාවනයෙන් ඉවත් කරනවා.

ධාවනයට සුදුසු බස්රථ 1500 ක් ඉවත් කිරීම මහා අපරාධයක් නෙවෙයි ද?

මේ බස් රථ ධාවනයේ යෙදවීම ඊට වඩා පාඩුවක්. මොකද මේ බස් රථවල ඉන්ධන කාර්යක්ෂමතාව ඉතා අඩුයි. ඩීසල් ලීටරයකට ධාවනය කළ හැක්කේ කිලෝ මීටර දෙකහමාරක් වැනි දුරක්. මේ හේතුව නිසා ඉන්ධනවලට විශාල මුදලක් වැය කිරීමට සිදුවෙනවා. අලුත් බස් රථයක් එක ලීටරයකින් කිලෝ මීටර් හතරක් හෝ පහක් දුවනවා. ඉන් ඉතිරිවන ඉන්ධන වියදම සුළු පටු නැහැනෙ.

අනෙක අලුත් බස්රථයක ගමන් කරන කොට ඇතිවන සුව පහසුවත් මගීයට වැදගත්. අලුත් බස්රථවල ඇති නවීන පහසුකම් තිබෙනවා. මගීන්ගේ විඩාව නිවන මිහිරි සංගීතය, වීඩියෝ දර්ශන මේ වගේ නවීන පහසුකම් සහිත නව ප්‍රවාහන සේවයක් ලංගමට එකතු වුණාම රටේ පෞද්ගලික වාහනවල ගමන් ගන්නා මගීන් පිරිසත් මේ නව ප්‍රවාහන සේවයට පුරුදු වෙනවා.

ඔවුන්ගේ ප්‍රවාහන වියදම් අඩු වෙනවා. රටේ මාර්ග තද බදය අඩු වෙනවා. මගියාට නියමිත තැනට නියමිත වේලාවට යන්න ලැබෙනවා. මේවා ගැන තාර්කිකව හිතලා සමස්ත පොදු ජනතාවගේම යහපත උදෙසා ඉතා කඩිනමින් ඉටු කළ යුතු කාර්යක් හැටියට මේ බස් රථ ගෙන්වීම සිදුකළ යුතු වෙනවා.

ඔබ කියන්නෙ නිසි තැනට නිසි වෙලාවට තම ප්‍රවාහන අවශ්‍යතා සපුරා ගන්නට මේ නව බස්රථ ගෙන්වනවා කියලා. නමුත් නියමිත කාල සටහනකට අනුව මේ දුම්රිය බස්රථ ධාවනය නොවුනොත් ඔය අරමුණ ඉටුවෙන්නෙ නැහැනෙ?

අද ප්‍රවාහනයේ තිබෙන විශාල ගැටලුවක් තමයි මේ විධිමත් කාල සටහනක් අනුව ප්‍රවාහන සේවා ක්‍රියාත්මක නොවීම. ඒ ගැන විශේෂ අවධානය යොමු කළ යුතු වෙනවා. විශේ්ෂයෙන්ම පෞද්ගලික අංශය තම ලාභ පරමාර්ථයෙන් පමණක් ප්‍රවාහන සේවය පවත්වාගෙන යාම මීට මූලික හේතුවක්. ආණ්ඩුවේ බස්රථය වෙලාවට ගියේ නැත්නම් මොන තරම් සෙනඟක් මහමඟ රාත්‍රියේ පාළු පාරවල්වල අතරමං වෙනවද? ගොවියගෙ එළවළු ගෝනිය පවා නිසි තැනට ‍ෙගනියන්නෙ ලංගම බස් රථය.

ලංගම හැමදාම ජනතා සේවයට කැප වුණා. මේ කැපවීම පෞද්ගලික අංශයටත් තිබිය යුතුයි. තම පවුල් නඩත්තු වන්නේ මගියාගෙන් ලැබෙන මුදලෙන් බව පෞද්ගලික බස් හිමියා මෙන්ම සේවකයා ද අමතක නොකළ යුතු කාරණයක්. පෞද්ගලික අංශය මේ යථාර්ථය තේරුම් ගත්තා නම් ඔබ ඔය කියන කාල කළමනාකරණ ගැටලුවක් ඇති වන්නේ නැහැ.

නව බස් රථ ගෙන්වීම ගැන පෞද්ගලික බස් හිමියන් ගේ සංගමය ආණ්ඩුවට තරවටු කරනවා?

අපි බලන්නෙ ජනතා සුබ සාධනය මිසක් මුදලාලිගෙ සුබ සාධනය නෙවේනෙ. සුව පහසු ප්‍රවාහන සේවයක් ගෙනෙද්දි ඔවුන් බය වෙනවා ඇති. ජනතාව ආණ්ඩුව පැත්තෙ ඉන්නකොට ඔය තරවටු හරියන්නෙ නැහැ.

මහින්ද චින්තන ඉදිරි වැඩපිළිවෙළ යටතේ රටේ ප්‍රවාහන පද්්ධතියේ දියුණුව අත්‍යවශ්‍ය අංගයක් බවට පත් කරන පොරොන්දුවක් තියෙනවා. එහි මූලික අදියර දැන් නිමයි. ඒ තමයි රටේ මාර්ග පද්්ධතිය.

අපිට තරවටු කරල වැඩක් නැහැ. ඔය තෙල් බොන පරණ අබලි වාහන, මගී ප්‍රවාහනයෙන් ඉවත් කළ යුතුයි. අපි සමඟ මගී සුබ සාධනයට එකතු වීමයි පෞද්ගලික ප්‍රවාහන සේවය දැන් කළ යුත්තෙ.

හොඳයි මගී සුබ සාධනය සලසන ඔබේ ආයතනයේ සේවක පිරිසට ඔබ සලසා තියෙන සුබ සාධනය මොකක් ද?

ඇත්තටම මම පිළිගන්නවා මේ වසරේ අප්‍රේල් මාසය වන තුරු මගේ අමාත්‍යාංශයේ සේවය කරන සේවක පිරිසට නිසි සුබ සාධනයක් තිබුණේ නැහැ කියලා.

කොහොම හරි අප්‍රේල් මාසයේ තමයි ලංගම සේවකයකුට නිසි වැටුපක් ලබා දෙන්න ක්‍රියා කළේ. අඩුම ගණනේ රුපියල් 30,000ක තරම් වැටුපක් ලබා ගන්න තත්ත්වයට ඔවුන් පත් කළා. ඒ වගේම 2001 දෙසැම්බර් සිට වසර 07 ක පාරිතෝෂිතයක් අපි එකවර ගෙව්වා අමාත්‍යාංශයේ සේවක පිරිසට. ඇත්තෙන්ම එය ඔවුන්ගේ සුබ සාධනයේ විශාල ඉදිරි පිම්මක්.

හොඳයි ඔබ කියලා තිබුණා ලංගම ඩිපෝ තව දුරටත් සොහොන් පිටි බවට පත් කරන්නෙ නැහැ මේ අබලි බස් රථ මෙන්ම යකඩ ගොඩවල් වෙන්දේසි කරනවා කියලා. ඒ මුදලින් නව බස්රථ 10 – 15 ක් වත් අලුතින් ධාවනයට එක් කරනවා කියලත්. දැන් එහි තත්ත්වය කොහොම ද?

මේකයි ධාවනයෙන් ඉවත් කළ, ඉවත් කළ යුතු සහ විශේෂයෙන්ම බස්රථ වලින් ඉවත් කළ අමතර කොටස් මොන තරමක් තියෙනව ද කියල එක ඩිපෝවක් පරීක්ෂා කළොත් දැක ගන්න පුළුවන්. ඉතින් රට පුරා තියෙන සියලුම ඩිපෝවල ඇති මේ අබලි ද්‍රව්‍ය වෙන්දේසි කළොත් ඒවායිනුත් ගුණාත්මක ප්‍රවාහන සේවයකට අවශ්‍ය මුල්‍ය ප්‍රතිපාදන සම්පාදනය කර ගන්නට පුළුවන්.

නව බස්රථ 3000 ගෙන්වීම ගැන මගී ජනතාව ගේ විශාල බලාපොරොත්තුවක් ඇතිවී තිබෙනවා. කවද්ද මේ දේ සිද්්ධ වෙන්නෙ?

දැන් අපි මේ වැඩේට සූදානම්. එක දවසේ බස් 3000 ම එන්නෙ නැහැ. නිශ්චිත වශයෙන්ම ලබන වසරේ ලංගම බස් 3000ක් අලුතින් ධාවනයට එක් වෙනවා. ඒක ස්ථිරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා