බතලයාය වැවේ මසුන් දහස් ගණනින් මිය ගිහින්

බතලයාය වැවේ මසුන් දහස් ගණනින් මිය ගිහින්

ගිරාදුරුකෝට්ටේ බතලයාය වැවේ ජලය විස වීමෙන් මත්ස්‍යන් දහස් ගණනක් මිය ගොස් ඇති අතර මේ වැවෙන් මහියංගණ ප්‍රාදේශිය සභාව මගින් ජලය ලබා දෙන බතලයාය පානීය ජල ව්‍යාපෘතිය මේවන විට නවතා දමා ඇත.

එමගින් ප්‍රදේශයේ පවුල් 900කට පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටිති.

පසුගිය 24 වන දින බතලයාය වැවේ මත්ස්‍යන් මියයෑම ආරම්භවී ඇති අතර ගිරාදුරුකෝට්ටේ ප්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලීය නිලධාරී මහතුන් සහ බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් වැවේ ජල සාම්පල සහ මියගිය මත්ස්‍ය කොටස් මේ වන විට පරීක්ෂණ කටයුතු සඳහා නාරා ආයතනයට හා රජයේ රස පරීක්ෂක සඳහා යවා ඇත.

වාර්තා ලැබෙන තුරු වැවේ ජලය විස වීමට හේතුව කුමක්ද කියා කීමට නොහැකි බවත් එතෙක් වැවේ ජලය පරිහරණය නොකරන ලෙස ජනතාවට අවවාද කර හා ඒ පිළිබද දැන්වීම් පුවරු ප්‍රදර්ශනය කර ඇත. එමෙන්ම මිය ගිය මත්ස්‍යන් ආහාරයට ගැනීමෙන් වළකින ලෙසද අවවාද කර ඇත. එහෙත් සමහර ධීවරයන් මියගිය මත්ස්‍යන් එකතු කර වෙනත් ප්‍රදේශවලට රැගෙන ගොස් වෙළෙදාම් කිරීම හේතුවෙන් ගිරාදුරුකෝට්ටේ පොලිසියේ පොලිස් සථානාධිපති මොහාන් ද සිල්වා මහතාගේ අධීක්ෂණයෙන් වැව අවට ප්‍රදේශයේ ජංගම මුර සංචාරය සදහා පොලිස් නිලධාරීන් යොදවා ඇත.

මහියංගණ ප්‍රාදේශිය සභාව මගින් පානීය ජලය ලබාදෙන පානීය ජල ව්‍යාපෘතිය මේවන විට නවතා දමා ඇති අතර එමගින් බතලයාය, ගිරාලගොල්ල, මිදේන් වැටුන පිටිය, කොලොන්යාය, හතේකණුව, පහේ කණුව, යාය හය, කහනියගොඩ ප්‍රදේශයේ පවුල් 900ක් පානීය ජලය ‍ෙනාමැතිව පීඩාවට පත්ව සිටී.

මේ සම්බන්දයෙන් මහියංගන ප්‍රාදේශිය සභාවේ සභාපති ඩබ්ලිව් ඒ සුනිල් මහතා ප්‍රකාශ කලේ බතලයාය වැවේ ජලය විෂ වීමෙන් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින ගම්මාන සදහා බව්සර් මගින් පානීය ජලය ලබා දීමට පියවර ගන්නා බවත් බතලයාය මහජන සෞඛ්‍ය පරීක්ෂක මහතාගේ නිර්දේශය පරිදි වැවේ පාවෙමින් තිබෙන මියගිය මත්ස්‍යයන් සියල්ල එකතු කර විනාශ කර දමන බවත් අවශ්‍ය නම් වැවේ වාන් දොරටු විවෘත කර අපිරිසිදු ජලය ඉවත් කිරිමට හැකි බවක්, රස පරීක්ෂක වාර්තා කඩිනමින් ලබාගෙන වාර්තා සැලකිල්ලට ගෙන රජයේ නිලධාරින් ගේ සහාය ඇතිව පීඩාවට පත්ව සිටින බතලයාය ප්‍රදේශයේ ජනතාවට සහනයක් ලබාදීමට කටයුතු කරන බව ප්‍රකාශ කර සිටියි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා