රඹකැන්ඔය වත සුකොමළිය කෙත්වතු සිඹිනදා අත ළඟය

රඹකැන්ඔය වත සුකොමළිය කෙත්වතු සිඹිනදා අත ළඟය

අම්පාර මහඔය රඹකැන්ඔය මනස්කාන්ත ජලාශයේ වැඩ මේ වනවිට 98% කින් නිමකර තිබේ. සද්ධාතිස්ස රජු විසින් ක්‍රි. පූ. දෙවන සියවසේදී පමණ මේ වැවේ කැණීම් කටයුතු ආරම්භ කරනු ලැබූ අතර එය නිම කිරීමට රජුට නොහැකි වී ඇති බව ඉතිහාස පොත්පත්වල සඳහන් වේ.

අඩි 250කින් යුතු පෞරාණික වැව් බැම්මත් ගල් පුවරු සහිත ඇළ මාර්ගයත් එයට සාක්‍ෂි සපයයි. වසරේ වැඩි කාලයක් මහඔය ප්‍රදේශයේ බොහෝ ගම්මානවලට වියළි කාලගුණයක් ඇති නිසා මෙහි පදිංචි ජනතාව ජලය නොමැතිකමින් පීඩනයට පත්ව සිටිති.

ඒ වියළි බව තුරන්කර ප්‍රදේශය පුරා ප්‍රධාන, බෙදුම් කෙත් ඇළ මාර්ග හා කුඩා වැව් මේ වනවිට ඉදිකිරීම් අවසන් වෙමින් පවතී.

වසරකට එක් කන්නයක් හේන් ගොවිතැනින් ජීවත් වූ මේ ජනතාවට වසර පුරා වගා කිරීමටත් පානීය ජලය ලබාගැනීමටත් මෙමගින් අවස්ථාව සැලසේ. මේ ජල ව්‍යාපෘතියට සමගාමීව තවත් කුඩා වැව් 10ක් ඉදිකර තිබේ.

ජලාශය විවෘත කිරීමෙන් පසු ඉඩම් අක්කර 5500 වගා කිරීමට අපේක්ෂිත අතර රුපියල් මිලියන 3930 මේ සඳහා වැය කිරීමට බලාපොරොත්තු වේ.

කලාප වාරිමාර්ග අධ්‍යක්ෂ එස්. එල්. වීරසිංහ මහතා මෙසේ පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ කරන සංවර්ධන කටයුතුවලින් ප්‍රධාන සංවර්ධන කටයුත්තක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්. මහඔය ප්‍රදේශයේ සංවර්ධනය හීනයක්ව තිබුණා.

ජලයෙන් වසර පුරා පීඩා විඳි ජන කොටසක් තමයි මෙහි ජීවත් වෙන්නේ. ජලාශය ඉදිකිරීමත් සමඟ තවත් සංවර්ධන කටයුතු රාශිියක් කරගෙන යනවා. පොල්ලේබැද්දේ ගම්මානයේ සිට මුල්ලේගම දක්වා කෙටිම මාර්ගයක් වන කිලෝමීටර් 13කින් යුතු මාර්ගය හදලා මේ වනවිට අවසන් අදියරේ තියෙන්නේ. මුළු ප්‍රදේශය පුරා පානීය ජලය දෙන්න රුපියල් මිලියන 280ක් වැය කරනවා.

බෙදුම් ඇළවල් කිලෝමීටර් 42ක් ද කෙත් ඇළවල් කිලෝමීටර් 92ක් ද මේ වන විට අවසන් කරලා තියෙන්නේ.

පරණ කුඩා වැව් 8ක් ද අලුත් කුඩා වැව් 2ක් ද මෙහි ඉදිකරනවා. මේ වන විට රුපියල් මිලියන 2560ක් වියදම් කරලා තියනවා.

මුළු ජලාශයම පුරවන්න පුළුවන් ජල අක්කර අඩි 45000කින් පමණ පළමු අදියරේදී අක්කර 3500ක් සංවර්ධනය කරන අතර තවත් අක්කර 2000ක් සංවර්ධනය කිරීමට නියමිතය.

පවුල් 5000 අධික ප්‍රමාණයකට මෙහි ප්‍රතිඵල ගන්න පුළුවන්.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා