ජාතික බිලියඩ් ශූරතාවලිය හෙට ඇරැඹේ

ජාතික බිලියඩ් ශූරතාවලිය හෙට ඇරැඹේ

අන්තර් ජාතික බිලියඩ් මේසයට ශ්‍රී ලංකාවෙන් ශූරයන් තෝරන විශිෂ්ටතම තරගාවලිය වන ජාතික බිලියඩ් ශූරතාවලිය හෙට (17) සිට 20දින දක්වා බිලියඩ් සහ ස්නූකර් මූලස්ථානයේ දී පැවැත්වේ.

60වැනි වරටත් පැවැත්වෙන මෙවර ජාතික බිලියඩ් ශූරතාවලියට හිටපු ශූරයන් ඇතුලුව 16දෙ‍ෙනක් තරග වදිති.

ඊට කේ.එච්.සිරිසෝම, ටී.සමරසිංහ, ඒ.ජයරත්න, එස්.එම්.ශහර්වාඩ්, අබ්දුල් සත්තාර්, ඩී‍.බී.ඒකනායක, එම්.සී.මාතිස්, එස්.එච්.එම්.අස්ලම්, ඇන්ජෙලෝ කෝන්ජහේ, ෆයිසාල් හනීෆා, අනිල් රෝහණ, එම්.මුබීන්, රෝහිත ද සිල්වා, දොස්තර පී.සෝමරත්න, මේජර් චන්ද්‍රදාස, එම්.නසුර්ඩීන් ‍ඇතුලත් වෙති.

දිස්ත්‍රික් මට්ටමෙන් ආරම්භ වූ මේ තරගාවලියේ මූලික වටයේදී දිස්ත්‍රික් ජයග්‍රාහකයන් 26ක් දෙවැනි වටය වූ සමස්ත ලංකා තරගාවලියට එක්වූහ.

එහි ජයග්‍රාහකයෝ 8ක් සහ ජාතික බිලියඩ් සංචිතයේ ක්‍රීඩකයන් 24දෙනකු අතර පැවැති අවසන් තරගාවලියේ පළමු අදියර වූ 'රවුන්ඩ් රොබින්' තරග වටයෙන් පසු අවසන් තරග වටයට ක්‍රීඩකයෝ 16ක් සුදුසුකම් ලබාගත්හ.

දිස්ත්‍රික් මට්ටමේ තරගවලදී ක්‍රීඩකයන් 68ක් කොළඹ දිස්ත්‍රික් තරගාවලියට සහභාගි වූ අතර මහනුවර දිස්ත්‍රික් තරගාවලියට ක්‍රීඩකයෝ 15ක් ද, ගාල්ල දිස්ත්‍රික් තරගාවලියට ක්‍රීඩකයෝ 11ක් ද සහභාගි වූහ.

එහි දී කොළඹ දිස්ත්‍රික් ශූරතාව ඒ.ටී.සමන් බණ්ඩාරටත්, අනුශූරතාව එම්.එස්.මාතිස්ටත් හිමිවූ අතර එම්.එම්.ජිෆ්රි ගාල්ල දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාව දිනාගත්තේය.

එහි අනුශූරයා වූයේ එස්.පල්ලියගුරුගේය. මහනුවර දිස්ත්‍රික් තරගාවලියේ ශූරතාව රන්ජන් රණතුංගට හිමිවූ අතර ලසන්ත ලියනගේ අනුශූරතාව දිනාගත්තේය.

සමස්ත ලංකා තරගාවලියේ ශූරතාව දිනාගැනීමට අනිල් රෝහණ සමත්විය. මේජර් ඩබ්.එම්.චන්ද්‍රසිරි අනුශූරතාවට හිමිකම් කීවේය.

ජාතික බිලියඩ් ශූරතාවලියේ අවසන් තරග පිළිමලුන් පිටුදැකීමේ ක්‍රමයට පැවැත්වේ. එහි දී ජාතික බිලියඩ් ශූරයාට සිංගර් කුසලානය සමග මුදල් ත්‍යාග පිරිනැමීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා