‘බ්ලේඩ් රනර්’ට චෝදනා ගොනුවේ

‘බ්ලේඩ් රනර්’ට චෝදනා ගොනුවේ

අධි තාක්ෂණික කෘතිම දෙපා නිසා ‘බ්ලේඩ් රනර්’ ලෙසින් ජාතික වීරයකු බවට පත්ව සිටි පැරාලිම්පික් සුපිරි ක්‍රීඩක ඔස්කාර් පිස්ටොරියස්ට ඔහුගේ පෙම්වතිය මරා දැමීමේ චෝදනා ඊයේ ගොනු කෙරිණි.

පිස්ටොරියස් සහ පෙම්වතිය ස්ටීන්කැම්ප්

කාන්තාවන් දූෂණය කිරීම හා ඔවුන්ට පරිභව කිරීමට එරෙහිව හඬ නැගූ මෝස්තර නිරූපිකාවක වන රීවා ස්ටීන්කැම්ප් ප්‍රිටෝරියා අගනුවර පිහිටි නිවසේදී හිමිදිරි හෝරාවලදී සිවු වතාවක් වෙඩි තබා මරා දමා තිබිණි.

මේ ඝාතනය පිළිබඳව දකුණු අප්‍රිකාව අන්දමන්දව සිටී. පිස්ටොරියස් ඔහුගේ ඔලිම්පික් වීර ක්‍රියාවලින් රටේ අවධානය දිනා ගත්ත ද මෑතක දී ඔහුට ප්‍රශ්න තිබූ බව පොලිසිය කියයි. ඒ ප්‍රශ්න ගෘහස්ත ස්වරූපයේ ඒවා වූ බව ද හෙළි වී තිබේ.

“ඒ ගැන මා විස්තර වශයෙන් කතා කරන්න යන්නේ නෑ. නමුත් පිස්ටොරියස්ගේ ගෙදර යම් යම් සිදුවීම් වෙලා තියෙනවා” පොලිස් ප්‍රකාශිකා බ්‍රිගේඩියර් ඩෙන්සී බියුක්ස් පැවසුවාය.

දකුණු අප්‍රිකාවේ පොලිසිය අපරාධ සැකකරුවන් උසාවියේ පෙනී සිටින තුරු ඔවුන්ගේ නම් හෙළි නොකරයි. එහෙත්, 26 හැවිරිදි පිස්ටොරියස්, ස්ටීන්කැම්ප්ගේ මරණය සිදුවන අවස්ථාවේදී ඔහුගේ නිවසේ සිටි බව බියුක්ස් කියා සිටින්නීය. “ සිද්ධියට සම්බන්ධ වෙනත් සැකකරුවෙක් නැහැ.”

සිද්ධිය පිළිබඳ කිසිවක් ප්‍රකාශ කිරීම ප්‍රතික්ෂේප කළ පිස්ටොරියස්ගේ පියා වන හෙන්ක් “ඔස්කාර් හා කාන්තාවගේ මව්පියන් වෙනුවෙන් මාර්ගෝපදේශකත්වය හා ශක්තිය ලැබේවායි යාඤා කරනවා” යැයි කීවේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා