රගර් දියුණුවට රු.මි.75ක් වැය කළා

රගර් දියුණුවට රු.මි.75ක් වැය කළා

- රගර් සභාපති අසංග සෙනෙවිරත්න

ශ්‍රී ලංකා රගර් සංගමය පසුගිය වසරේ දී මෙරට රගර් ක්‍රීඩාව වෙනුවෙන් රුපියල් මිලියන 75ක මුදලක් වැය කළ බවත්, ක්‍රිකට් ක්‍රීඩාවට සමානව රගර් ක්‍රීඩාවත් ග්‍රාමීය මට්ටම දක්වා ප්‍රචලිත කිරීමට එය විශාල පිටුවහලක් වූ බවත් රගර් සංගමයේ සභාපති අසංග සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කළේය.

ජාතික සත් සාමාජික රගර් කණ්ඩායමට එංගලන්ත සත් සාමාජික රගර් පිලේ හිටපු නායක බෙන් ගෝලින්ස් සහ 15 සාමාජික කණ්ඩායමට පිල් ග්‍රීනින් පුහුණුකරුවන් ලෙස බඳවා ගැනීම ක්‍රීඩකයන්ගේ දස්කම්වලට මෙන්ම මෙරට රගර් ක්‍රීඩාවේ ප්‍රගතියටත් වැදගත් සාධකයක් වූ බව ද සෙනෙවිරත්න මහතා කීවේය.

ඩයලොග් ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු රිස්වි ෆාරුක් මහතා විසින් රගර් සභාපති අසංග සෙනෙවිරත්න මහතාට සංකේතාත්මකව ඩයලොග් අනුග්‍රාහකත්වය පිරිනමමින්. රගර් සංගමයේ උපසභාපති ලසිත ගුණරත්න, ලේකම් රිස්ලි ඉල්යාස් මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය - සුදත් නිශාන්ත

පසුගිය වසරේ දී ආසියානු සත්සාමාජික තරග බිමේ පෙරළිකාර කණ්ඩායමක් බවට පත්වීමටත්, පිලිපීනයේ පැවැති ආසියානු ෆයිව් නේෂන්ස් තරගාවලියේ විශිෂ්ට දස්කම් දැක්වීමටත් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් සමත්වූ බව ඔහු කීවේය.

‘රගර් පුහුණුකරුවන් වෙනුවෙන් අප පැවැත්වූ විවිධ පුහුණු වැඩසටහන් මෙරට ප්‍රාදේශීය මට්ටම දක්වා රගර් ක්‍රීඩාව දියුණු කිරීමට විශාල වශයෙන් බලපෑවා. මේ වනවිට මෙරට රගර් ක්‍රීඩාවේ දියුණුවේ 90%ක තරම් ලොකු ප්‍රගතියක් පෙන්නුම් කරනවා.‘ ඔහු වැඩිදුරටත් කීවේය.

ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ අනුග්‍රාහක ලෙස කටයුතු කිරීමට නැවත වතාවක් ඩයලොග් සමාගම ඉදිරිපත්වීම සම්බන්ධවත්, පසුගිය වසරේ මෙරට රගර් ක්‍රීඩාව ලැබූ ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහාත් ක්‍රීඩා විද්‍යායතනයේ දී පසුගියදා පැවැති මාධ්‍ය හමුවේ දී රගර් සභාපතිවරයා මේ කරුණු අනාවරණය කළේය.

පසුගිය වසරේ දී උතුරු නැගෙනහිර පළාත්වලත් විශාල වශයෙන් රගර් ක්‍රීඩාව සංවර්ධනය කිරීමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බව මෙහි දී අදහස් දැක්වූ රගර් සංගමයේ ලේකම් රිස්ලි ඉල්යාස් මහතා කියා සිටියේය. මේ වනවිටත් එම පළාත්වල රගර් සංගමයක් බිහිවී ඇතැයි ද ඒ මහතා කීවේය.

එමෙන්ම ඉදිරියේ දී ජාතික රගර් තරගමාලාවලට උතුරු නැගෙනහිර ක්‍රීඩකයන්ගෙන් ද වැඩි දායකත්වයක් ලැබෙනු ඇතැයි ඉල්යාස් මහතා විශ්වාසය පළකළේය.

මේ වසරේ රගර් කාලසටහනට කාන්තා අන්තර් සමාජ, ශ්‍රී ලංකා රගර් සංගමයේ අන්තර් සමාජ, වෙළෙඳ සේවා යන සත් සාමාජික රගර් තරගමාලාවලට අමතරව කාල්ටන් දේශීය සත් සාමාජික රගර් තරගාවලියක් ද එක්වී තිබේ. එම තරගාවලියේ පළමු අදියර කොළඹදිත්, දෙවැනි අදියර නුවරඑළියේදිත් පැවැත්වීමට නියමිතය. මෙවර කාල්ටන් අන්තර් ජාතික සත් සාමාජික රගර් තරගාවලියේ පළමු අදියර පැවැත්වෙන්නේ ගාල්ලේ දීය.

ඩයලොග් සමාගමේ ජ්‍යෙෂ්ඨ අලෙවි කළමනාකරු රිස්වි ෆාරුක්, රගර් සංගමයේ උප සභාපති ලසිත ගුණරත්න, ප්‍රධාන විධායක රොහාන් ගුණරත්න මහත්වරු ද මාධ්‍ය හමුවට එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා