‘නිල් මහ සටන’ මාර්තුවේ දී

‘නිල් මහ සටන’ මාර්තුවේ දී

රාජකීය -සාන්ත තෝමස් 134 වැනි ‘නිල් මහ සටන’ ලබන මස 7වැනිදා සිට 9දා දක්වා එස්.එස්.සී.ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ලෝකයේ පැරණිතම ක්‍රිකට් තරගාවලියක් ලෙස 1879 ඇරඹි ‘නිල් මහ සටන’ මෙරට පාසල් ක්‍රිකට් තරග අතර ඉදිරියෙන් පසුවන මේ තරගාවලියට මෙවරත් එටිසලාට් ලංකා සමාගමේ අනුග්‍රහය ලැබී ඇත. එටිසලාට් සමාගමේ අඛණ්ඩව අනුග්‍රහය හිමිවන සිවුවැනි අවස්ථාව මෙය වන අතර වසර 2015 දක්වා අනුග්‍රහය දැක්වීමේ අවස්ථාව එම සමාගම හිමිකරගෙන ඇත.

ඩී.එස්.සේනානායක අනුස්මරණ කුසලානය සඳහා පැවැත්වෙන මේ තරගයෙන් පසු මාර්තු මස 16 වැනිදා දෙපිල අතර මස්ටැන්ග්ස් කුසලාන සඳහා 38 වැනි එක්දින තරගය පැවැත්වේ. පසුගිය වසරේ නිල් මහ සටන ජය පරාජයෙන් තොරව අවසන් වු අතර එක්දින තරගය සම ජයග්‍රාහකයන් වශයෙන් නිමාවිය.

“ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් ක්‍රීඩාව නංවාලීමට එටිසලාට් ලංකා සමාගම විශාල උත්සහයක් දරනවා. ක්‍රීඩාවට දක්වන සහයෝගය මගින් එම ක්‍රීඩාවට සම්බන්ධ වුවන්ගේ සාර්ථකත්වයට අපේ දායකත්වය ඉවහල් වෙනවා” යැයි නිල් මහ සටන පිළිබඳ පසුගියදා කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේ දී එටිසලාට් ලංකා සමාගමේ අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී දුම්න්ද්‍ර රත්නායක මහතා පැවැසීය.

සැබෑ ක්‍රීඩක ජවය පෙන්නුම් කරන මේ තරගය සැබෑ සටනක් ලෙසින් හැඳින්විය හැකි බව රාජකීය විද්‍යාලයේ විදුහල්පති උපාලි ගුණසේකර මහතා කියා සිටියේය. ක්‍රිකට් විශිෂ්ටත්වයෙන්, සහභාගිත්වයෙන්, මහජන ප්‍රසාදයෙන් දිනෙන් දින ශක්තිමත්වන මේ තරගය නිසා පාසල් දෙකේ ආදායම් වර්ධනය කරගැනීමට අවස්ථාවක් හිමිවන බව සාන්ත තෝමස් විද්‍යලයාධිපති මහාචාර්ය ඉන්ද්‍රා ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.

නිල් මහ ස‍ටනේ තරග සංවිධායක කමිටු සභාපති සේනක ද ෆොන්සේකා මහතාද මෙහිදී අදහස් දැක්වු අතර සා.තෝමස් විදුහලේ ක්‍රිකට් නායක, රෝයල් ක්‍රිකට් උපනායක ඇතුළු සාමාජිකයන් පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා