විදුලි ආලෝක ධාරා පද්ධතියක් ඇති විශාඛා ක්‍රීඩා පිටිය විවෘත වෙයි

විදුලි ආලෝක ධාරා පද්ධතියක් ඇති විශාඛා ක්‍රීඩා පිටිය විවෘත වෙයි

ජාතික හා ජාත්‍යන්තර තලයට ක්‍රීඩිකාවන් රැසක් දායද කළ කොළඹ විශාඛා විදුහලේ නවීකරණය කරන ලද ක්‍රීඩා පිටිය අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරේදා විවෘත කෙරුණි.

ජනාධිපති ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය‍ගේ හා ක්‍රීඩා ඇමැති මහින්දානන්ද අලුත්ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රතිපාදනවලින් නවීකරණය කෙරුණු මේ ක්‍රීඩා පිටිය විදුලි ආලෝක ධාරා පද්ධතියකින්ද යුක්තය.

සමතලා නොවු තැනින් තැන වැලි සහිත වු ක්‍රීඩා පිටිය විදුලි ආලෝකය සහිතව දියුණු මට්ටමකට පත්වීම විශාඛා විදුහලට තිබු විශාල අඩුපාඩුවක් සම්පූර්ණවීමක් බව විදුහල්පතිනි සඳමාලී අවිරුප්පොල මහත්මිය සඳහන් කරයි.

හොඳ මට්ටමේ ක්‍රීඩා පිටියක් නොමැති වුවද පාසල් ක්‍රීඩා ‍ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දස්කම් දැක්මීමට විශාඛා දියණියන් සමත් වු බව පෙන්වා දුන් අවිරුප්පොල මහත්මිය සඳහන් කළේ ක්‍රීඩා පිටිය නවීකරණය වීමෙන් දක්ෂතා තව තවත් වර්ධනය කර ගැනීමට හැකිවන බවය.

ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ අවස්ථාවට එක්වු අධ්‍යාපන ඇමැති බන්ධුල ගුණවර්ධන මහතා පැවැසුවේ මහින්ද චින්තන ප්‍රතිපත්තිය යටතේ රජය ක්‍රීඩාව නඟා සිටුවීමට විශාල වැඩ කොටසක් ඉටු කොට ඇති බවය. එහි වැදගත් පියවරක් වන්නේ සෑම දරුවෙකුම අවම වශයෙන් ක්‍රීඩාවක් සඳහා යොමුවීම අනිවාර්ය කොට තිබීමය.

“ඉදිරි කාලයේදී සෑම දරුවෙකුම ක්‍රීඩාවකට යොමුවිය යුතුයි. ඒ සඳහා ක්‍රීඩා අමාත්‍යංශය සමග එක්ව ලබන සතියේදී කැබිනට් පත්‍රිකාවක් ගෙන ඒමට සැලසුම් කොට තිබෙනවා. එය පාර්ලිමේන්තු පනතකින් ක්‍රියාත්මක කිරීම බලාපොරොත්තුවයි” ගුණවර්ධන මහතා පැවැසිය.

විශාඛා ක්‍රීඩා පිටිය විවෘත කිරීමේ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා හා ශ්‍රී ලංකා ක්‍රිකට් නායක ඇන්ජලෝ මැතිව්ස් එක්වුහ. මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් නායකයා ලෙස ප්‍රකාශවීමෙන් අනතුරුව සහභාගීවු පළමු උත්සවය මෙය වීමද විශේෂත්වයකි. ක්‍රීඩාංගණය විවෘත වීමෙන් අනතුරුව විදුහල් නිවාසාන්තර ක්‍රීඩා උලෙළ පැවැත්වුණි.


ඇමැති බන්ධුල ගුණවර්ධන මහතාව, විදුහල්පතිනි සඳමාලි අවිරුප්පොල මහත්මිය උත්සව භූමියට කැඳවාගෙන එන අයුරු. ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල් රංජනී ජයකොඩි මහත්මියද වෙයි.
ඡායාරූපය-රංජිත් අසංක



පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා උත්සව භූමියට පැමිණි අයුරු.
ඡායරූපය-ලසිත් සී ගමගේ



විශාඛා ක්‍රීඩා පිටිය විවෘත කිරීමෙන් පසු විද්‍යාලීය ජිමිනාස්ටික් කණ්ඩායම ඉදිරිපත් කළ අලංකාර ජිමිනාස්ටික් සංදර්ශනය

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා