මැයි රැලිවලට සුවිශේෂී පොලිස් ආරක්ෂාවක්

මැයි රැලිවලට සුවිශේෂී පොලිස් ආරක්ෂාවක්

මැයි පළමුවැනිදාට යෙදෙන ජාත්‍යන්තර කම්කරු දිනය නිමිත්තෙන් පැවැත්වෙන පෙළපාළි සහ රැලි වලට සහභාගී වන ජනතාවට සුවිශේෂී ආරක්ෂාවක් ලබා දෙන ලෙසට ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට උපදෙස් දී තිබේ.

ඒ අනුව පොලිස්පතිවරයා විසින් එදින ක්‍රියාත්මක කිරීම සඳහා සංවිධානාත්මක රාජකාරී ව්‍යුහයක් සකස් කර තිබේ.

රථ වාහන රාජකාරී සඳහා පොලිසියේ දෙදහසක් ඇතුළුව පොලිසියේ පන්දහසක පිරිසක් මහජන ආරක්ෂක කටයුතු සඳහා යොදවනු ලබයි.

මෙදින කොළඹ හා ඒ අවට පමණක් මැයි දින පෙළපාළි 13ක් පැවැත්වෙයි. රැස්වීම් ප්‍රමාණය 17 කි.

එදින පිට පළාත්වලින් බස් රථ දස දහසක් මැයි දින පෙළපාළිවලට සහභාගී වන ජනතාව රැගෙන කොළඹට පැමිණීමට නියමිතව ඇත.

ප්‍රධාන මාර්ග වලින් එන එම බස් රථ ගාල් කිරීම සඳහා අවශ්‍ය නැවතුම් හල් වෙන වෙනම හඳුන්වාදී තිබේ.

එක්සත් ජනතා නිදහස් සන්ධාන මැයි රැලිය කැම්බල්පිටියේ පැවැත්වෙයි. ශ්‍රී ලංකා මහජන පක්ෂ රැලිය සහ මහජන එක්සත් පෙරමුණේ රැලිය එක්සත් ජනතා නිදහස් සන්ධාන රැලියට එක්ව මැයි දින රැලිය පැවැත්වීමට නියමිතව ඇත.

ජාතික නිදහස් පෙරමුණ මැයි දින රැලිය පී.ඩී. සිරිසේන ක්‍රීඩාංගණ පිටියේද, වෘත්තීය සමිති සම්මේලනය හා ලංකා බැංකු සේවක සංගම් රැලිය හයිඩ් පිටියේද, ලංකා වෙළඳ සංගමය මැයි රැලි‍ය CMU මූලස්ථානය, නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවක සංගම් රැලිය ෆයිස් මන්සිල් සම්මන්ත්‍රණ ශාලාව, එක්සත් සමාජවාදී පක්ෂය කොස්ගස් හන්දිය, නව සම සමාජ පක්ෂය ප්‍රයිෂ් පිටිය, ක්‍රිස්තියානි කම්කරු සහෝදරත්වය කොල්ලුපිටිය පොල්වත්ත ශුද්ධ වූ විකාසෙල් දේවස්ථානය, පෙරටුගාමී සමාජවාදී පක්ෂය රත්නම් ක්‍රීඩාංගණය, ජ.වි.පෙ. බී.ආර්.සී. ක්‍රීඩා පිටිය, ලංකා සම සමාජ පක්ෂය හා සමාජවාදී ජනතා පෙරමුණ කිරුළපන නාගරික ක්‍රීඩාංගණය, ප්‍රජාතන්ත්‍රවාදී ජනතා කොංග්‍රසය මට්ටක්කුලිය විශ්වයින් ක්‍රීඩාංගණය, ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය G.H. බුද්ධදාස ක්‍රීඩාංගණය, එක්සත් ජාතික පක්ෂ රැලිය කුරුණෑගල මාලිගාපිටිය, එ.ජා.ප. යොවුන් මැයි රැලිය විල්ස් පාක් ක්‍රීඩාංගණය බදුල්ල, ශ්‍රී ලංකා කම්කරු ‍කොංග්‍රසය නුවරඑළිය කිව්තාෂ් එළිමහන් රංගපීඨය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින් වාදී පක්ෂය යාපනය පක්ෂ කාර්යාලය, ‍ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යාපනය නගර සභා පිටිය, දෙමළ මහජන පෙරමුණ නෙල්ලිඅඩි ‍වෛරවල් කෝවිල, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය වව්නියාව දෙමළ මහා විද්‍යාලයේදී පැවැත්වීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා