ලෝක යොවුන් ශූරතාවලියට සුදුසුකම් ලැබූ ධම්මික හා චමල් තවදුරටත් ඉදිරියට

ලෝක යොවුන් ශූරතාවලියට සුදුසුකම් ලැබූ ධම්මික හා චමල් තවදුරටත් ඉදිරියට

ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සුදුසුකම් ලබා සිටින ගොඩකවෙල කුලරත්න මධ්‍ය මහා විදුහලේ ධම්මික රණතුංග හා මීරිගම ඩී.එස්.සේනානායක විදුහලේ චමල් කුමාරසිරි තුම්පිම්ම හා උස පැනීමේ ඉසව්වල දක්ෂතා තවදුරටත් වර්ධනය කර ගනිති.

දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ ඊයේ නිමාවට පත්වූ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ තේරීම් තරගයේදී තුම්පිම්ම ඉසව්ව මීටර් 15.18කින් නිම කිරීමට චමල් කුමාරසිරි සමත්විය. ඔහු ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට පසුගිය වසරේ සුදුසුකම් ලබා සිටියේ මීටර් 14.81කිනි‍. එම ඉසව්වේ ලෝක යොවුන් මලල ක්‍රීඩා පරිසාධන මට්ටම මීටර් 14.80කි.

ධම්මික රණතුංග උස පැනීමේ ඉසව්වේ මීටර් 2.10ක දක්ෂතාවක් දැක්වූ අතර කලින් දක්ෂතාව වූයේ මීටර් 2.08කි. ලෝක යොවුන් මලල ක්‍රීඩා ශූරතාවට අවශ්‍ය උස පැනීමේ පරිසාධන මට්ටම මීටර් 2.06කි.

ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගිවීමේ අවස්ථා බොහෝදුරට ලගාකර ගත හැකි මට්ටමේ සිටින මීගමුව මාර්ස්ටෙලා විදුහලේ අභිෂේක් අල්විස් මීටර් 400 පිරිමි තරගය තත්පර 49.70කින් නිමකළ අතර මීටර් 100 පිරිමි තරගය තත්පර 11.07කින් නිමකළ සාන්ත සෙබස්තියන් විදුහලේ සහන් රාජපක්ෂද ඊයේ කාගේත් අවධානයට ලක්වූ ක්‍රීඩකයෙකි.

මේ තේරීම් තරගවල පළමු දිනයේදී අඹගමුව මධ්‍ය මහා විදුහලේ යාමනී දුලංජලී මීටර් 400 කඩුලු ඉසව්ව විනාඩි 1:03.70කින් නිමකිරීමට සමත්වූවාය.

මීටර් 200 පිරිමි තරගය තත්පර 22.51කින් නිමකළ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ ආසිරි විජේසේකර, තත්පර 22.77කින් එම ඉසව්ව නිමකළ කොළඹ ලුම්බිණි විදුහලේ එම්.ඒ.එම්.මම්සාන් හා තත්පර 22.83කින් නිමකළ කොළඹ ආනන්ද විදුහලේ අවින්ද සිල්වා කෙරෙහිද වැඩි අවධානයක් යොමුව තිබුණි. මේ තේරීම් තරගවල දක්ෂතා දැක්වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා සැලකිල්ලට ගෙන මලල ක්‍රීඩා තේරීම් කමිටුව විසින් ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියට කණ්ඩායම නම් කරනු ඇත.

ශ්‍රී ලංකා මලල ක්‍රීඩා කණ්ඩායමක් මේ වසරේ සහභාගීවන පළමු තරගාලිය මෙය වීමද විශේෂත්වයකි. ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලිය මැයි 8වැනිදා සිට 11දක්වා දෝහා කටාර්හිදී පැවැත්වේ.

ආසියානු මට්ටමේ දක්ෂ ක්‍රීඩක ක්‍රීඩිකාවන් යොවුන් කාලයේදීම හඳුනාගෙන ඉදිරියට යෑමේ අවස්ථාව සැලසීම ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ අරමුණවී තිබේ.

Share on Facebook

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා