නෙට්බෝල් පුහුණුකාරිනී නම් කිරීම අර්බුදයකට

නෙට්බෝල් පුහුණුකාරිනී නම් කිරීම අර්බුදයකට

නෙට්බෝල් අතුරු කමිටුව විසින් තෝරාගත් නෙට්බෝල් පුහුණුකාරිනි සොමිතා අල්විස් හා සහය පුහුණුකාරිනී පී.ඩී.එන්.ප්‍රසාදී යන මහත්මීන්ගේ පත්වීම් පිළිබඳ අවසන් තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. ශ්‍රී ලංකා නෙට්බෝල් පිලේ පුහුණුකරු තනතුරට හිටපු පුහුණුකාරිනියක් වූ දීප්ති ද අල්විස් මහත්මියගේ නම අලුතින් යෝජනාවීම හේතුවෙන් පත්වීම් පිළිබඳ නැවත සලකා බැලීමට යන බව වාර්තාවේ. දීප්ති ද අල්විස් මහත්මිය පසුගියදා පැවැති නෙට්බෝල් පුහුණුකාරිනි තෝරා ගැනීමේ පරීක්ෂණයට සහභාගී නොවුණ ද තනතුර සඳහා සුදුසුකම් ඇති බැවින් සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය අවධානය යොමු කොට ඇති බව පැවැසේ.

ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියේ පුහුණු කටයුතු මෙහෙයවීමට පුහුණුකාරිනී තෝරා ගැනීමේ පරීක්ෂණය ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ සජිත් ජයලාල් මහතා හා ට්‍රික්සි නානායක්කාර, කස්තුරි විල්සන් යන මහත්මීන්ගේ සහභාගීත්වයෙන් පැවැත්විණි. එම පරීක්ෂණයට ‍සොමිතා අල්විස්, පී.ඩී.එන්. ප්‍රසාදී, ගම‍ගේ කුමාරී හා ආශා පෙරේරා යන මහත්මීන් සහභාගී වූහ. තේරීම් පරීක්ෂණය නිමවෙද්දී දීප්ති ද අල්විස් මහත්මිය ක්‍රීඩා අමාත්‍යංශයේ අනුමැතිය සහිත ලිපියක් ඉදිරිපත් කළ ද නියමිත දිනට අයැදුම්පත් ඉදිරිපත් නොකිරීමේ හේතුව මත ප්‍රතික්ෂේප කොට ඇත. එහෙත් නෙට්බෝල් සම්මේලනයේ නව නිලධාරී මණ්ඩලය පත්වීමෙන් අනතුරුව නැවත තේරීම් පරීක්ෂණයක් පවත්වා නෙට්බෝල් පුහුණුකාරිනිය ප්‍රකාශ කළ යුතු බවට මත පලවී තිබේ.

අතුරු කමිටුව තෝරාගත් නෙට්බෝල් පුහුණුකාරිනියගේ හා සහය පුහුණුකාරිනියගේ නම් ක්‍රීඩා ඇමැතිවරයා වෙත යොමුකර ඇතත් මේ වනතෙක් අනුමැතිය ලැබී නැතැයි වාර්තාවේ.

මේ අතර තෝරාගත් පුහුණුකාරිනී සොමිතා අල්විස් මහත්මියට කණ්ඩායමේ පුහුණුවීම් ආරම්භ කරන ලෙස සම්මේලනයේ නව නිලධාරී පිරිස ඉල්ලා සිටිය ද ඇය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බව නෙට්බෝල් විධායක නිලධාරිනියක් 'දිනමිණ'ට පැවැසීය. පුහුණුවීම් ආරම්භ කිරීමට පෙර පත්වීම් ලිපිය ලබාදෙන ලෙස ඇය ඉල්ලා සිටි බව සම්මේලනයේ ප්‍රකාශිකාවක් පැවැසුවාය.

මේ අතර ලෝක ශූරතාවලියට යන නෙට්බෝල් සංචිතයට හිටපු පළපුරුදු ක්‍රීඩිකාවන් කිහිපදෙනකුම සහභාගි නොවී ඇතැයි පැවැසේ.

ශ්‍රී ලංකා පිලේ හිටපු නායිකාවන් වන මරීෂා ප්‍රනාන්දු, ශෂිකා සමරසිංහ, කුමරීනි ද සිල්වා හා ආසියාවේ උසම ක්‍රීඩිකා තර්ජනී සිවලිංගම් නෙට්බෝල් ‍තේරීමේ පරීක්ෂණය මග හැර ඇත. මේ හේතුවෙන් නවක ක්‍රීඩිකාවන් පිරිසක් ‍ලෝක ශූරතාවලියට සහභාගී කරවීමට සිදුව තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා