මුම්බායි පිලට පිට පිට තුන්වැනි ජය

මුම්බායි පිලට පිට පිට තුන්වැනි ජය

ඉතාමත් දුර්වල ආරම්භයක් සහිතව මෙවර අයි.පී.එල්. තරගාවලියට අවතීර්ණ වූ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පෙරේදා රාත්‍රියේ පන්ජාබ් පිල ලකුණු 23කින් පරදවා පිට පිට තුන්වැනි ජයග්‍රහණය වාර්තා කිරීමට සමත්විය. ඒ සමගම පන්ජාබ් පිල මෙතෙක් සහභාගි වූ තරග 9න් 7ක්ම පරාජයට පත්වී තරගමාලාවෙන් ඉවතට විසිවීම තහවුරු විය.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි පිල ඕවර 20 අවසානයේ කඩුලු 3ක් දැවී ලබාගත් ලකුණු 172 හඹාගිය පන්ජාබ් කණ්ඩායමට නියමිත ඕවර 20 අවසානයේ කඩුලු 7ක් දැවී රැස් කිරීමට හැකිවූයේ ලකුණු 149ක් පමණි. විශිෂ්ට පන්දු යැවීමක නිරතවූ ලසිත් මාලිංග සිය ඕවර 4 දී ලකුණු 31කට කඩුලු 2ක් දවාලීය.

මුම්බායි පිල වෙනුවෙන් සාර්ථක පිතිහරඹයක යෙදුණු ආරම්භක පිතිකරු යුගලය ලෙන්ඩ්ල් සිමන්ස් සහ පාර්තිව් පටේල් ඕවර 12.2ක් තුල පළමු කඩුල්ලට ලකුණු 111ක සම්බන්ධතාවක් පිහිටුවීමට සමත්වූහ. සිමන්ස් ලකුණු 71ක් රැස් කළ අතර පටේල් ලැබූ ලකුණු සංඛ්‍යාව 59කි.

මුම්බායි - 172/3 (ඕවර 20) ලෙන්ඩ්ල් සිමන්ස් 71, පාර්තිව් පටේල් 59යි.

පන්ජාබ් - 149/7 (ඕවර 20) ඩේවිඩ් මිලර් 43, මුරලි විජේ 39 (ලසිත් මාලිංග 31/2)

රාජස්තාන් තවමත් පෙරමුණේ

මේ අතර දිල්ලි ඩෙයාර්ඩෙවිල්ස් පිලට එරෙහිව ලකුණු 14ක විශිෂ්ට ජයක් ලැබූ රාජස්තාන් රෝයල්ස් පිල සිය 6වැනි ජයග්‍රහණයත් වාර්තා කරමින් ප්‍රසාද ලකුණු සටහනේ තව දුරටත් පෙරමුණ ගැනීමට සමත්විය.

මුම්බායි නුවර පෙරේදා රාත්‍රියේ පැවැති මේ තරගයේ පළමුව පන්දුවට පහරදුන් රාජස්තාන් රෝයල්ස් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 189කි. දිල්ලි කණ්ඩායමට ඕවර 20 අවසානයේ රැස් කිරීමට හැකිවූයේ කඩුලු 7කට ලකුණු 175ක් පමණි.

රාජස්තාන් - 189/2 (ඕවර 20) අජින්ක්‍යා රහානේ නොදැවී 91, කරුන් නායර් 61 යි.

දිල්ලි පිල - 175/7 (ඕවර 20) ජේ.පී.දුමිනි 56 (ජේම්ස් ෆුල්ක්නර් 22/2, ස්ටුවර්ට් බිනී 27/2, දවාල් කුල්කර්නි 43/2)

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා