කොදෙව් පිලට එරෙහි එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නම් කරයි

කොදෙව් පිලට එරෙහි එක්දින තරගාවලියට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලේ එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයේ පැවැත්වෙන එක්දින හා විස්සයි20 තරගාවලි සඳහා නම් කළ ශ්‍රී ලංකා පිල මෙහෙයවීමේ වගකීම නැවත චමරි අතපත්තුට හිමිවී තිබේ. විනෝදන් ජෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් කාන්තා ක්‍රිකට් පිලේ නව තේරීම් කමිටුව පසුගියදා පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා කාන්තා පිල තෝරාගත් පළමු අවස්ථාව මෙය විය.

කොදෙව් තරග සංචාරය සඳහා නම් කළ ක්‍රීඩිකාවන් 14කගෙන් සමන්විත ශ්‍රී ලංකා පිලට තුන් ඉරියව් ක්‍රීඩිකාවන් වන නිපුනි හංසිකා සහ චතුරානි ගුණවර්ධන යළි කැඳවා ඇති අතර කණ්ඩායමේ උපනායිකාව ලෙස පළපුරුදු තුන් ඉරියව් ක්‍රීඩිකා ඉෂානී ලොකුසූරිය පත් කොට තිබීමත්, මීට පෙර කණ්ඩායමේ උපනායිකාව ලෙස කටයුතු කළ 19 හැවිරිදි හසිනි පෙරේරාට මෙවර කණ්ඩායමේ ස්ථානයක් නොලැබීමත් කැපී පෙනේ.

24 හැවිරිදි චතුරානී ගුණවර්ධන කණ්ඩායමට එක්වී ඇත්තේ ආරම්භක පිතිකාරිනියක වන යශෝධා මෙන්ඩිස් වෙනුවටය. 20 හැවිරිදි නිපුනි හංසිකා කණ්ඩායමට කැඳවා ඇත්තේ හසිනි පෙරේරා වෙනුවටය. ශ්‍රී ලංකා කාන්තා පිලේ පළපුරුදු වේගපන්දු යවන්නියක වන උදේශිකා ප්‍රබෝධනීට ද මෙවර කණ්ඩායමේ ස්ථානය අහිමිවී ඇත. එබැවින් පසුගිය දකුණු අප්‍රිකානු හා පාකිස්තාන තරගාවලි අතර කැපී පෙනෙන දස්කම් පෑ 24 හැවිරිදි අමා කාංචනාට මෙවර කණ්ඩායමේ වැඩි කාර්යභාරයක් හිමිවි තිබේ. මීට අමතරව චමරි පොල්ගම්පොල හා නිලක්ෂි ද සිල්වා ට ද මෙවර කණ්ඩායමේ ස්ථාන අහිමිවිය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 36කට සහ විස්සයි20 තරග 41කට සහභාගි වී ඇති 25 හැවිරිදි වමත් පිතිකාරිනියක වන චමරි ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ලබන්නේ තුන්වැනි වරටය. මීට පෙර ඇය දකුණු අප්‍රිකාව සමග පසුගිය වසරේ අග භාගයේ ශ්‍රී ලංකාවේ පැවැති තරගාවලියේදි හා පාකිස්තානය සමග පසුගිය ජනාවරියේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැති තරගාවලියේ දි ශ්‍රී ලංකා පිලේ නායිකාව ලෙස කටයුතු කළාය.

ශ්‍රී ලංකාව සහ කොදෙව් පිල අතර ජාත්‍යන්තර එක්දින තරග 4ක් සහ විස්සයි20 තරග 3ක් පැවැත්වෙන අතර මින් දෙවැනි, තුන්වැනි සහ සිවුවැනි එක්දින තරග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල ශූරතාවලියට ඇතුලත් වේ. පසුගිය වසරේ දී ඇරැඹි මේ ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට කොදෙව් පිල පස්වැනි තැන පසුවන අතර ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 7 වැනි ස්ථානයයි. ලබන 2016 නොවැම්බර් මාසයේ දී නිමාවට පත්වන අතර ඉදිරියට පැමිණෙන පළමු කණ්ඩායම් 4ට 2017 දී එංගලන්තයේ පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගමාලාවට සුදුසුකම් ලැබේ. සෙසු කණ්ඩායම්වලට ඒ සඳහා තවත් සුදුසුකම් ලැබීමේ තරගාවලියකට සහභාගිවීමට සිදුවනු ඇත. දෙපිල අතර මෙතෙක් පැවැති එක්දින තරග 24කින් තරග 13ක් ජයගෙන ඉදිරියෙන් පසුවන්නේ ශ්‍රී ලංකාවය.

මෙතෙක් පැවැති අයි.සී.සී. ශුරතාවලියේ තරග 6කදී ලකුණු 362ක් ලැබූ චමරි අතපත්තු වැඩිම ලකුණුලාභීන් අතර පෙරමුණට පත්වීම විශේෂ සිදුවීමකි. ශතකයක් සහ අර්ධ ශතක දෙකක් සමග ඇය පළමු තැන ගනිද්දී ඔස්ට්‍රේලියාවේ මැග් ලැනින් දෙවැනි තැනට පත්ව සිටින්නීය.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මෙසේය:- චමරි අතපත්තු (නායිකා), ඉෂානී ලොකුසූරිය (උපනායිකා), ප්‍රසාදිනී වීරක්කොඩි, නිපුනි හංසිකා, සඳුනි අබේවික්‍රම, දිලානි මනෝදරා, ශෂිකලා සිරිවර්ධන, ශ්‍රීපාලී වීරක්කොඩි, අමා කාංචනා, ඉනෝකා රණවීර, සුගන්ධිකා කුමාරි, ලසන්ති මධුෂානී, චතුරානී ගුණවර්ධන, මධුරී සමුද්දිකා. අතිරේක ක්‍රීඩිකාවන්:- යශෝධා මෙන්ඩිස්, ඕෂධී රණසිංහ, උදේශිකා ප්‍ර බෝධනී, අචිනි කුලසූරිය, හසිනි පෙරේරා, චමරි පොල්ගම්පොල, නිලක්ෂි ද සිල්වා.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා