බැසිල්ට බරපතළ රෝගී තත්ත්වයක් නෑ

බැසිල්ට බරපතළ රෝගී තත්ත්වයක් නෑ

වෛද්‍ය නිලධාරී

දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ පාරිතෝෂිත දීමනා අයථා පරිහරණය කිරීම ඇතුළු චෝදනාවන් තුනක් යටතේ සිදුකෙරෙන විමර්ශනයන්ට අනුව දැනට රක්ෂිත බන්ධනාගාරගත හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු සැකරුවන් සිව්දෙනා ලබන 20 වැනි දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කඩුවෙල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා ඊයේ (07) නියෝග කළේය.

ඇප ලබා දෙනවාද? නැද්ද යන්න නියෝග නිකුත් කිරීමට පෙර නඩුවේ දෙපාර්ශ්වයටම කරුණු ඉදිරිපත් කිරීමට සමාන අවස්ථාවන් ලබාදිය යුතු හෙයින් සති දෙකක කාලයක් ලබාදෙමින් පැමිණිල්ල ලබන 21 දින කැඳවන බවට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඇප ඉල්ලීම සම්බන්ධයෙන් සැකකරුවන්ගේ නීතිඥයන් අධිකරණයේ ගොනුකළ ලිඛිත දේශනවල පිටපත් ගාස්තු රහිතව නීතිපතිවරයාට යොමුකරන ලෙසට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

බැසිල් රාජපක්ෂ මහතා ගිලන් රථයකින් අධිකරණ භූමියට රැගෙනවිත් තිබූණද ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ජීවිත තර්ජනයක් නොමැති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය සඳහන් කර තිබිණි .එසේ වුවද විත්තියේ නීතිඥවරුන් කරුණු ඉදිරිපත් කරමින් ඇප ලබාදීම සම්බන්ධයෙන් විත්තියේ ලිඛිත දේශන ගොනු කරමින් ඇප නියෝග නිකුත් කිරීම ලබන 11 දිනට නියම කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ මූල්‍ය අපරාධ කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන්ට එරෙහිව ඉදිරිපත් වී ඇති චෝදනා නියත වශයෙන්ම පොදු දේපළ පනත යටතට වැටෙන වැරදි බැවින් ඊයේ (07) දින ඉදිරිපත් කරන ලිඛිත කරුණු නීතිපතිවරයාට ඉදිරිපත් කර උපදෙස් ලබාගත යුතු බවය. දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ මුදල් රුපියල් මිලියන ගණනක් මහා භාණ්ඩාගාරය මඟින් මුදල් නිකුත් කිරීමට පෙර සේවකයින්ට පාරිතෝෂික දීමනා වශයෙන් ලබාදීම, රුපියල් 5.25 ක් බැගින් වූ ලිත් මුද්‍රණය කිරීම හා ඉසුරුමත් නිවාස ව්‍යාපෘතිය යටතේ එක් පුද්ගලයකුට රුපියල් 2500 බැගින් ලබාදීම ඇතුළු චෝදනාවන් යටතේ ගොනු කෙරුණු පැමිණිලි තුනක් කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් පසුව බැසිල් රාජපක්ෂ මහතා හා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකෙරිණි. ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ හිටපු ලේකම් වෛද්‍ය නිහාල් ජයතිලක, දිවි නැඟුම දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ආර්. කේ. ඒ. රණවක හා එම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් බන්දුල තිලකසිරි බන්ධනාගාර ගතවූ සෙසු සැකකරුවෝ ය.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් මෙම පැමිණිලි ඉදිරිපත් කර තිබූ අතර සැකකරුවන්ට එරෙහිව චෝදනා 1998 අංක 28 දරන පනතින් සංශෝධිත 1982 අංක 12 දරන පොදු දේපළ විෂයෙහිලා ගැනෙන වරදවල් බව අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි. ඊයේ (07) පළමු සැකකරු වූ ජාතික රෝහලේ ගෙවන වාට්ටුවක ප්‍රතිකාර ලබන බැසිල් රාජපක්ෂ මහතා ගිලන් රථයකින් අධිකරණ භූමියට රැගෙනවිත් තිබූ අතර නඩු විභාගයෙන් පසුව මහේස්ත්‍රාත්වරයා විසින් පරීක්ෂාවට ලක්කළේය. දෙවන සැකකරු ජාතික රෝහලේ 11 වන වාට්ටුවේ ප්‍රතිකාර ලබන බවත් සඳහන් කළ බන්ධනාගාර අධිකාරිය ඔහු වෙනුවෙන් වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළේය. දෙවැනි සැකකරු වෙනු‍ෙවන් ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවක් අනුව ඔහු ඇඳ විවේකයෙන් සිටිය යුතු බවත් සඳහන් විය. පළමු සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය අනුව ජීවිත තර්ජනයක් නොමැති බව අධිකරණ වෛද්‍ය නිලධාරිවරිය සඳහන් කර ඇත. තෙවන හා සිව්වන සැකකරුවන් අධිකරණය ඉදිරියේ පෙනී සිටියේය.

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණයේ ලිඛිත දේශන ගොනුකළ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතා මෙසේ පැවසීය.

ඇප නියෝගය සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් අවශ්‍ය නෑ ස්වාමිනී. නීතිපති උපදෙස්වලට කැමති දිනයක් ලබාදෙන්න. විත්තිකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධ නියෝගයට ලබන 11 දින ලබා දෙන්න. දිගින් දිගටම විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකිරීම මඟින් ඔවුන්ට අගතියක් වෙනවා. මෙය පොදු දේපළ පනතට නොවැටෙන බව අපි කරුණු ඉදිරිපත් කළා. එම වාචික කරුණු තමයි අද ලිඛිතව දෙන්නේ. එදා මේ පොලිස් නිලධාරීන් අධිකරණයේ හිටියා. තවත් උපදෙස් ගැනීම අවශ්‍ය නෑ. එම කරුණු තුන්වෙනි පාර්ශ්වයකට යැවීමට දින ලබාගැනීම අසාධාරණයි.

මූල්‍ය අපරාධ කොට්ඨාසය කරුණු ඉදිරිපත් කරමින් මෙසේ පැවසීය.

විත්තිකරුවන් වෙනුවෙන් පසුගිය 05 දින ලේඛන අටක් යොමුකරමින් කරුණු ඉදිරිපත් කළා. එම ලේඛන නීතිපති උපදෙස් සඳහා යොමු කළා. නීතිපති උපදෙස් අනුව අද ඉදිරිපත් කරන ලිඛිත දේශන නීතිපතිවරයා වෙත යොමු කළ යුතුයි.

ජ්‍යෙෂ්ඨ නීතිඥ යූ. ආර්. ද සිල්වා - අපි පුද්ගලිකව නීතිපතිතුමා හමු වී සාකච්ඡා කළා. පසුගියදා ඉදිරිපත් කළ කරුණු තමයි අද ලිඛිතව දුන්නේ.

නීතිඥ සන්ධ්‍යා කිල්දූව - අද පොලිසියට කතා කරන්න දෙයක් නෑ. අද තියෙන්නේ මහේස්ත්‍රාත්වරයාගේ අභිමතානුසාරි බලය අනුව ඇප ලබාදීමේ නියෝගයට දින ලබාදීමයි. එමනිසා කෙටිම දිනයක් ලබාදෙන ලෙස ඉල්ලනවා. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුව යළි 21 දින කැඳවන ලෙසට දින නියම කර එදින දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙසට නියෝග කළේය.

විත්තියේ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ මහතාට එදින අධිකරණයේ පෙනී සිටීමට අපහසු බැවින් එම දිනය 20 දින ලෙස වෙනස් කරන ලෙසට කළ ඉල්ලීමට අනුව නඩුව එදිනට කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා