ආරක්ෂක මණ්ඩලයේ සිටිමින් රාජද්‍රෝහී වූ බවට චෝදනා

හිටපු හමුදාපති අත්අඩංගුවට ගත්තේ හමුදා නීතියේ 57 (1) වගන්තිය යටතේ

ආරක්ෂක මණ්ඩලයේ සිටිමින් රාජද්‍රෝහී වූ බවට චෝදනා

චෝදනා ගොනු කිරීම නීතිපති මඟින්

හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා යුද හමුදා පොලිසිය මඟින් පෙරේදා (08) අත්අඩංගුවට ගනු ලැබුවේ යුද හමුදා පනතේ 57 (1) වගන්තිය යටතේ බව හමුදා මාධ්‍ය ප්‍රකාශක මේජර් ජෙනරාල් ප්‍රසාද් සමරසිංහ මහතා පවසයි.

රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ තීන්දු ගන්නා ආරක්ෂක මණ්ඩලයේ කටයුතු කරමින් සිටියදීම ෆොන්සේකා මහතා දේශපාලනයට සම්බන්ධ වීම හමුදා නීතියට අනුව රාජද්‍රෝහී ක්‍රියාවක් බවද අනාවරණය වෙයි.

යුද හමුදාවෙන් ඉවත්ව හෝ විශ්‍රාම ගිය අයෙක් හමුදා සේවයේ සිටියදී කළ වරදක් සම්බන්ධයෙන් හමුදාවෙන් විශ්‍රාම ගොස් මාස හයක් ඇතුළතදී අත්අඩංගුවට ගැනීමට නීතිමය හැකියාව තිබෙන බවද සමරසිංහ මහතා පැවැසීය.

යුද හමුදාපති වශයෙන් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස කටයුතු කරද්දී ෆොන්සේකා මහතා යුද නීතියට හා හමුදා නීතියට පටහැනිව ක්‍රියා කොට ඇති බව දැනට ලැබී ඇති තොරතුරු අනුව පෙනීගොස් තිබේ.

මේවන විට හිටපු හමුදාපතිවරයා සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කැර ඇති බව ඊයේ (9) සවස ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවේදී ප්‍රසාද් සමරසිංහ මහතා සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ප්‍රකාශක ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කළහ. හමුදා සේවයේ සිටියදී සිදුකළ බවට සැක කෙරෙන රාජද්‍රෝහී ක්‍රියා සම්බන්ධයෙන් යුද හමුදාව පරීක්ෂණ ආරම්භ කැර තිබේ.

විශ්‍රාම ගිය පසු සිදුකළ බවට සැක කෙරෙන නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා පොලිසිය වෙනම පරීක්ෂණයක් ආරම්භ කැර ඇති බව රඹුක්වැල්ල මහතා සඳහන් කෙළේය.

පරීක්ෂණ මගින් හෙළිවන කරුණු පදනම්කරගෙන නීතිපතිවරයා හරහා කරුණු ගොනුකර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගන්නා බව ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කෙළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ලක්ෂ්මන් හුළුගල්ල, ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෲප් කපිතාන් ජනක නානායක්කාර නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අතුල සෙනරත් හා පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ප්‍රශාන්ත ජයකොඩි යන මහත්වරුද මේ අවස්ථාවට සහභාගී වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා