බදුල්ල රෝහලට රු. කෝටි 50 ක ගොඩනැගිල්ලක්

බදුල්ල රෝහලට රු. කෝටි 50 ක ගොඩනැගිල්ලක්

බදුල්ල ශික්ෂණ රෝහලේ ඉදිකළ නව බාහිර රෝගී ප්‍රතිකාර ඒකකය සහ ශල්‍යාගාර ගොඩනැගිල්ල නිල වශයෙන් ශ්‍රී ලංකා රජයට, අන්තර්ජාතික රතුකුරුස සංවිධානය විසින් බාරදීම ඉකුත්දා සිදුකෙරිණි.

රුපියල් කෝටි 50 ක වියදමින් ඉදිකළ බදුල්ල ශික්ෂණ රෝහලේ නව බාහිර රෝගී ප්‍රතිකාර ඒකකය සහ ශල්‍යාගාර ගොඩනැගිල්ල ඡායාරූපයේ දැක්වේ.

රුපියල් කෝටි 50 ක වියදමින් ඉදිකළ මේ ගොඩනැගිල්ල මහල් හතරකින් සමන්මිත වන අතර මේ ගොඩනැගිල්ලේ සියලු පහසුකම් සහිත බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයක් සහ නවීන වෛද්‍ය උපකරණවලින් සමන්විත සියලුම ශල්‍යාගාර පහසුකම්වලින් සමන්විත වේ.

සෞඛ්‍ය අරක්ෂණ හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා අන්තර්ජාතික රතුකුරුස මූලස්ථානයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ ගොඩනැගිල්ල ඉදිකර දී තිබේ.

අන්තර්ජාතික රතුකුරුස සංවිධානය මෙන්ම සයිප්‍රසය, ස්වීඩනය සහ ජර්මනියේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර රතුකුරුස සංවිධානවල මූල්‍ය දායකත්වය මේ සඳහා ලැබී තිබේ.

මේ සිවුමහල් ගොඩනැගිල්ල ශ්‍රී ලංකා රජයට බාරදීම සිදුකෙළේ මහා සංඝයාවහන්සේලා 500 කට දානය පිළිගැන්වීමෙන් අනතුරුවය.

මෙරටට සුුනාමිය බලපෑ අවස්ථාවේ සුනාමියෙන් විනාශ වූ රාජ්‍ය ආයතන සහ මහජන ගොඩනැගිලි නැවත ඉදිකිරීම සඳහා ක්‍රියාත්මක කළ පශ්චාත් සුනාමි වැඩපිළිවෙළ යටතේ බදුල්ල මහ රෝහලට මේ පහසුකම් ලබාදීමට අන්තර්ජාතික රතුකුරුස සංවිධානය තීරණය කළ බව සෞඛ්‍ය ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ උත්සවයට සහභාගි වෙමින් කියා සිටියේය.

මේ අවස්ථාවට ඌව පළාත් සභාවේ සෞඛ්‍ය ඇමැති ඒ. එම්. බුද්ධදාස, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් යන මහත්වරු ද සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා