දින තුනකට වරක් උතුරේ අවතැන්වූවන් 12000ක් බැඟින් යළි පදිංචි කරවනවා

දින තුනකට වරක් උතුරේ අවතැන්වූවන් 12000ක් බැඟින් යළි පදිංචි කරවනවා

- උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි

දින තුනකට වරක් අභ්‍යන්තර වශයෙන් අවතැන් වූවන්ගෙන් 12000 බැගින් නැවත පදිංචි කිරීම සිදුකරන බව උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

අවතැන් වූවන්ගෙන් නැවත පදිංචි කිරීම සඳහා තවත් ඉතිරිව ඇත්තේ 70000 ක් පමණ යැයි කී ආණ්ඩුකාරවරයා ඒ පිරිසද තව නොබෝ දිනකින් නැවත පදිංචි කිරීමට හැකිවෙතැයි විශ්වාසය පළ කෙළේය.

පසුගිය දින කීපය තුළ කිලිනොච්චි, තුනුක්කායි, ධර්මපුරම් ප්‍රදේශවල පුද්ගලයින් නැවත පදිංචි කළ බවත් පසුගිය (2) දා පවුල් 300 කට අයත් පුද්ගලයෝ 1232 ක් පුනකරි ප්‍රදේශයේ යළි පදිංචි කළ බවත් හෙතෙම අවධාරණය කළේය.

පසුගිය (3) දා මඩු ප්‍රදේශයේ විලාතිකුලම් හි පවුල් 49 කට අයත් පුද්ගලයෝ නැවත පදිංචි කරන ලද අතර පසුගිය (5) දා පවුල් 613 කට අයත් පුද්ගලයෝ 1500 ක් තුනුක්කායි ප්‍රදේශයේ යළි පදිංචි කොට තිබේ. ඊට අමතරව පසුගිය (7) දා මාන්තෙයි නැගෙනහිර ප්‍රදේශයේ පදිංචිව සිටි පවුල් 260 කට අයත් පුද්ගලයෝ 690 ක් නැවත පදිංචි කර ඇත.

මේ අතර එළඹෙන (15) දා සෙට්ටිකුලම් හි තාවකාලිකව රැඳී සිටින පුද්ගලයෝ 3000 ක් ඔවුන්ගේ මුල්ගම්බිම්වල නැවත පදිංචි කිරීමට නියමිතයි.

නැවත පදිංචි කෙරෙන සෑම පවුලක් වෙතම රජය මගින් සියලුම පහසුකම් ලබාදෙන බව පෙන්වා දුන් උතුරු පළාත් ආණ්ඩුකාවරයා මුදලින් රුපියල් 5000 ක්ද රුපියල් 45000 ක මුදලක් බැංකු ගිණුමක තැන්පත් කිරීමටද කටයුතු කැර තිබෙන බව කීවේය.

ඊට අමතරව සම්පූර්ණයෙන්ම විනාශයට පත් නිවාස ඉදිකැර ගැනීම වෙනුවෙන් දීර්ඝ කාලීනව රුපියල් 325000 ක ණය ආධාරයක් රජය මගින් ලබා දෙයි.

නැවත පදිංචි කෙරෙන සෑම පවුලකම ජීවනෝපාය ශක්තිමත් කිරීමේ වැඩසටහන් රජය මගින් ක්‍රියාත්මක කැර තිබෙන අතර ඊට අමතරව සෑම ප්‍රදේශයකම යටිතල පහසුකම් සංවර්ධනය කැර තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා