ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ රටේ පවතින නීතියට යටත්වයි

ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ රටේ පවතින නීතියට යටත්වයි

ඇමැති රෝහිත බෝගොල්ලාගම

හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගනු ලැබූවේ රටේ පවතින නීතියට පූර්ණ වශයෙන්ම යටත්ව බව විදේශ කටයුතු ඇමැති රෝහිත බෝගොල්ලාගම මහතා පැවසීය.

රටේ පවතින නීතිය අනුව ඒ මහතා යුද හමුදාව මඟින් අත්අඩංගුවට ගත් බව කී ඇමැතිවරයා එය කිසිවිටෙකත් නීතියට එරෙහිවීමක් නොවන බවද කියා සිටියේය.

ඒ මහතා මේ බව කියා සිටියේ විදේශ කටයුතු අමාත්‍යාංශයේදී ඊයේ (9) පස්වරුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

ශ්‍රී ලංකාව ස්වෛරීය රාජ්‍යයක් බවත් ඒ තුළ සියලු දෙනාගේම නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, මිනිස් අයිතිවාසිකම් ආරක්ෂා විය යුතු බවත් කී රෝහිත බෝගොල්ලාගම මහතා යමෙකු කිසියම් දෙයකට වරදකරුවකු වන්නේ නම් රටේ නීතිය යටතේ දඬුවම් හිමිවන බවද කීවේය.

රටේ කිසිවකුට නීතියට ඉහළින් යා නොහැකි බව පෙන්වා දුන් විදේශ කටයුතු ඇමැතිවරයා එය සමස්ත සමාජයේම උන්නතියට බලපාන බවද කීවේය.

ජාත්‍යන්තර මට්ටමින් විවිධ මත මේ සම්බන්ධයෙන් ඉදිරිපත් වුවද සත්‍ය දේ දැනුම්වත්ව කතා කළ යුතු බවත්, ඕනෑම අයකුට නිදහසේ අදහස් ප්‍රකාශ කළ හැකි නිසා විවිධ කටකතා පතුරුවන බවත් ඒ මහතා පැවැසුවේය.

ශ්‍රී ලංකාවේ විදේශ ප්‍රතිපත්තිය විනිවිද භාවයකින් යුතු එකක් බවත්, සත්‍ය වසන් කිරීමට කිසිවිටෙකත් සූදානම් නැති බවත් පැවැසූ ඇමැතිවරයා ශ්‍රී ලංකා රජය ගත් සත්‍ය ක්‍රියා මාර්ගය ජාත්‍යන්තරයේ ඕනෑම අයකුට දැකගත හැකි බවද සඳහන් කෙළේය.

තවද ඒ මහතා කියා සිටියේ ශ්‍රී ලංකාව ලෝකයට කතා කරන්නේ සෑම කොටසක්ම ආවරණය වන පරිදි බවයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා