ෆොන්සේකාගේ ඡන්ද සටනේ නමගිය අපරාධකාරයෝ රැසක්

ෆොන්සේකාගේ ඡන්ද සටනේ නමගිය අපරාධකාරයෝ රැසක්

දරුණු ගණයේ අපරාධ කර අධි චෝදනාවලට වරදකරුවන් වී බරපතළ වැඩ සහිත සිර දඬුවම් නියම වූ අපරාධකරුවන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරක ව්‍යාපාරයේ ප්‍රබල භූමිකා නියෝජනය කළ බව අනාවරණය වී තිබේ.

ජෙනරාල් ෆොන්සේකා සමඟ සාකච්ඡාවලට සහභාගි වූ ඔහු සමඟ සෑම අවස්ථාවකම පෙනී සිටි සේනක ද සිල්වා මෙවැනි එක් චරිතයකි.

ඔහු ශශ්‍රී ලංකා යුද හමුදාවේ ලුතිනන්වරයකු ලෙස සේවය කරමින් සිටියදී අපරාධ රැසකට සම්බන්ධ වී කොළඹ මහාධිකරණය හමුවේ වරදකරු වී වසර 07ක බරපතළ සිර දඬුවම් නියම වූ අයෙකි.

යුද හමුදා සේවයේ සිටියදී තවත් හමුදා ලුතිනන්වරයකු සමඟ එක් වී පුද්ගලයින්ට දුරකතනයෙන් මරණීය තර්ජනය කර ලක්ෂ ගණන් කප්පම් ගත් අයකු ලෙස සේනක ද සිල්වා හඳුන්වා දිය හැකිය.

කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු ව සිටි ස්ටැන්ලි සිල්වා මහතාට තර්ජනය කර මොවුන් රුපියල් ලක්ෂ 20ක් ලබා ගත් අතර එම මුදල ලබා ගන්නා සමයේ මොහු ස්ටැන්ලි සිල්වා මහතාට ඉතා හිතවත්ව සමීපව කටයුතුª කළේ ය.

දුරකථනයෙන් ස්ටැන්ලි සිල්වා මහතාට කතා කළ මොවුන් රුපියල් ලක්ෂ 20ක් ලබා නොදුන්නොත් දරුවන් තිදෙනා ඝාතනය කරන බවට තර්ජනය කළේ ය. දරුවන්ට තිබූ ආදරය නිසා සිල්වා මහතා කියූ ස්ථානයට මුදල් රැගෙන ගොස් ලබා දුන් අතර එහිදී මුදල් ලබාගත් අයකු යාන්තමින් හඳුනා ගැනීමට ලැබිණි. එහෙත් ජීවිතයට ඇති බිය නිසා සිල්වා මහතා මේ බව කිසිවකුට ප්‍රකාශ කර නැත. ඒ අතර කාලයේ දී ලුතිනන් සේනක ද සිල්වා නිතර සිල්වා මහතා මුණ ගැසී තිබේ.

එහෙත් ස්ටැන්ලි සිල්වා මහතා ගේ බිරිය මඟින් මේ සිද්ධිය එවකට ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට දැන ගන්නට ලැබිණි. ප්‍රේමදාස මහතා මේ පිළිබඳව කරුණු විමසා පොලිසියට පැමිණිල්ලක් කරන ලෙස ස්ටැන්ලි සිල්වා මහතාට දැනුම් දුන්නේ ය.

දිනක් උදේ පාන්දර ස්ටැන්ලි සිල්වා මහතා දුරකතනයෙන් ඇමැතූ ජනාධිපති ප්‍රේමදාස මහතා වැල්ලවත්ත ප්‍රදේශයේ මුස්ලිම් ව්‍යාපාරිකයකු ගෙන් මුදල් ලබා ගැනීමට ගිය අපරාධකරුවන් දෙදෙනකුට පොලිසිය වෙඩි තබා රෝහල් ගතකර ඇති බවත් රෝහලට ගොස් ඔවුන් දැයි බලන ලෙසත් දැනුම් දී තිබේ.

ඒ අනුව සිල්වා මහතා රෝහලට ගොස් බලන විට ඔහුගෙන් මුදල් ලබා ගත් පුද්ගලයා වෙඩි වැදුණු තුවාල සහිතව සිටි අතර හමුදා ලුතිනන්වරයකු ලෙස ඔහු හඳුනා ගනු ලැබීය.

ඔහු සමඟ සිටි අනෙක් පුද්ගලයා වූයේ නිතර තම නිවසට පැමිණෙන සේනක සිල්වා නම් හමුදා නිලධාරියාය.

විමර්ශනය කළ පොලිසිය ස්ටැන්ලි සිල්වා මහතාගේ මුදලින් ලබා ගත් වාහන හා මුදල් සොයා ගෙන සේනක සිල්වා ඇතුළු තිදෙනාට කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය. නඩුවෙන් වරදකරුවන් වී මොවුන් සිරයට නියම විය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා