මවුබිමට පා තැබූ ජනපතිට කටුනායකදී උණුසුම් පිළිගැනීමක්

මවුබිමට පා තැබූ ජනපතිට කටුනායකදී උණුසුම් පිළිගැනීමක්

රුදුරු ත්‍රස්තවාදය නිමා කරමින් මුළු මහත් ලෝකයේම අවධානය දිනාගත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවට වාසිදායක වන කරුණු රැසකට මුල් වූ සිය රුසියානු නිල සංචාරය නිමාකොට ඊයේ (09) උදෑසන නැවත මවුබිමට පා තැබීය.

යුද්ධය නිමාකොට රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම තුළින් ශ්‍රී ලාංකේය දේශපාලන ක්ෂේත්‍රයට මෙන්ම ලෝක සාමය උදෙසාත් කළ සේවය අගයා රුසියාවේ ජනතා මිත්‍රත්ව සරසවියේ ගෞරව ආචාර්ය උපාධියකින් පිදුම් ලැබ යළි මවුබිමට සපැමිණි රාජ්‍ය නායකයා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ දී උණුසුම් අයුරින් පිළිගැනිණි.

ත්‍රස්තවාදී යුද්ධය මෙන්ම විරුද්ධ පක්ෂයේ දැවැන්ත මඩ ප්‍රහාර මධ්‍යයේ ජනාධිපතිවරණ යුද්ධයත් විශිෂ්ට අයුරින් ජයග්‍රහණය කළ ජනාධිපතිවරයා මේ නිම කළේ දෙවැනි ජනවරමින් අනතුරුව ප්‍රථම විදෙස් නිල සංචාරයයි.

රුසියානු ජනතා මිත්‍රත්ව සරසවියේ 50 වැනි සංවත්සරයට සහභාගිවීම සහ රාජ්‍යතාන්ත්‍රික නිල සාකච්ඡා පැවැත්වීමේ අරමුණින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා රුසියාවේ තෙදින නිල සංචාරයට එක්විය.

මවුබිම මෙන්ම ලෝකයත් මවිතයට පත් කරමින් විජයග්‍රහණ රැසක සැබෑ උරුමක්කරුවා ලෙස සිය රට බලා පැමිණෙන ජනාධිපතිවරයා පිළිගැනීමට ගුවන් තොටුපළ භූමිය ජාතික ධජයෙන් සරසා තිබිණි.

නිදහසේ සුළඟින් ලෙළදෙන ජාතික ධජය සුරතින් ගත් ජනතාව රතුපලස දෙපස රැස්ව ජනාධිපතිවරයාට ආචාර කළහ.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් පැමිණි ජනාධිපතිවරයා මවුබිමට පා තැබුවේ යානයේ පියගැට පෙළ මත හිඳ ජනතාවට ආචාර කරමිනි.

කුඩා දරුවන් දෙදෙනෙකු විසින් මල්දම් පළඳවා ජනාධිපතිවරයා පිළිගනු ලැබූ අතර, මැති ඇමැතිවරුන් ඇතුළු ප්‍රභූහු ජනාධිපතිවරයාට උණුසුම් සුබ පැතුම් පිළිගැන්වූහ.

යානයේ සිට අති විශේෂ ප්‍රභූ විවේකාගාරය දෙසට ඇවිදින අතර, කිහිපවිටක්ම ජනතාව අතරට ගොස් දුක සැප විමසීමටද ජනාධිපතිවරයා අමතක නොකළේ ය. අනතුරුව අති විශේෂ ප්‍රභූ විවේකාගාරයේදී ජනාධිපතිවරයා වෙත මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයන්ගේ ආගමික ආශිර්වාද පිරිනැමිණි.

මැති ඇමැතිවරුන් පළාත් ආණ්ඩුකාරවරුන් සහ මහ ඇමැතිවරුන් ආරක්ෂක අංශ ප්‍රධානින් රාජ්‍ය නිලධාරින් , කලාකරුවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා