මන්නාරම තිරුකේතිෂ්වරන් කෝවිල ප්‍රතිසංස්කරණයට රු.මිලියන 70 ක්

මන්නාරම තිරුකේතිෂ්වරන් කෝවිල ප්‍රතිසංස්කරණයට රු.මිලියන 70 ක්

මන්නාරම තිරුකේතීෂ්වරන් කෝවිල ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රජය රුපියල් මිලියන 70 ක මුදලක් වෙන්කැර ඇත.

එහි ප්‍රතිසංස්කරණ කටයුතු අදියර දෙකකින් සිදුකෙරෙන බවත් මුල් අදියර ලබන මාර්තු මාසයේ 10 දාට ප්‍රථම අවසන් කිරීමට බලාපොරොත්තු වන බවත් උතුරු පළාත් ආණ්ඩුකාර මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කරයි.

මේ යටතේ මන්නාරම මැදවච්චිය ප්‍රධාන මාර්ගයේ කිලෝමීටර් පහක ප්‍රමාණයක් සංවර්ධනය කෙරෙන බව කී ආණ්ඩුකාරවරයා ඊට අමතරව තිරුකේතීෂ්වරන් කෝවිලට සහ අවට ප්‍රදේශ වෙත පානීය ජලය සපයන ප්‍රධාන ජල ටැංකිය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංස්කරණය කිරීමට අපේක්ෂිතයි.

ත්‍රස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් 1990 වර්ෂයේ සිට මේ සඳහා බැතිමතුන්ට පැමිණීම දුෂ්කර කාර්යයක් වූ අතර එහි ආගමික කටයුතුද නිසිපරිදි සිදුනොවීය. නමුත් ත්‍රස්තවාදය පරාජය කොට රට පුරා සාමය ස්ථාපිත කිරීමත් සමඟ දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම බැතිමත්හු මේ සඳහා පැමිණෙති.

මේ කෝවිල වටා තිබෙන මාර්ගයද ප්‍රතිසංස්කරණය කිරීමට අමතරව පැමිණෙන බැතිමතුන්ගේ අවශ්‍යතාවය වෙනුවෙන් පානීය ජලය, විදුලිය ඇතුළු සෑම පහසුකමක්ම ලබාදීමට කටයුතු කරගෙන යන බවද ජී. ඒ. චන්ද්‍රසිරි මහතා සඳහන් කළේය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා