සන්ධානයෙන් මහ මැතිවරණයට තරුණ තරුණියෝ රැසක්

සන්ධානයෙන් මහ මැතිවරණයට තරුණ තරුණියෝ රැසක්

එළැඹෙන මහා මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සඳහා ඉදිරිපත් වූ අයගෙන් වැඩි පිරිසක් තරුණ තරුණියන් බව පරීක්‍ෂණ මණ්ඩල සාමාජික ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා පැවැසීය.

දේශපාලන ක්‍ෂේත්‍රයේ දැනට රැඳී සිටින අය මෙන්ම කලාකරුවන් වෛද්‍යවරුන්, ඉංජිනේරුවන්, ක්‍රීඩා ක්‍ෂේත්‍රය නියෝජනය කරන පිරිස මෙන්ම විවිධ ක්‍ෂේත්‍ර නියෝජනය කරන පිරිස් නාමයෝජනා මණ්ඩලයේ සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වූ බව ද ඇමැති බර්ටි ප්‍රේමලාල් මහතා කීය.

පිරිමි පාර්ශ්වය මෙන්ම කාන්තා පාර්ශවය නියෝජනය කරමින්ද සැලකියයුතු පිරිසක් මෙවර ඉදිරිපත් වී සිටින බව පැවැසූ ඒ මහතා මෙය ඉතා හොඳ ප්‍රවනතාවක් බවද පැවැසීය.

මූලික සුදුසුකම් සපුරාළන අයගෙන ඉහළ පරීක්‍ෂණ මණ්ඩලය මගින් අනුමත කරන අයට මහා මැතිවරණය සඳහා තරඟ කිරීමට අවස්ථාව උදා වන බවද ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා කීවේය.

2010 පැවැත්වෙන මහ මැතිවරණය සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නාමයෝජනා භාරදීමට ඉදිරිපත්වන අපේක්‍ෂකයින්ගේ සම්මුඛ පරීක්‍ෂණයක් ඊයේ (09) මහවැලි කේද්‍රයේදී පැවැත්විණි. සම්මුඛ පරීක්‍ෂණයට සහභාගි වූ නාමල් රාජපක්‍ෂ මහතාට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පාලක ලේකම් එච්. එස්. ආරියසේන මහතා සුබ පතන අයුරු. උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක , පශු සම්පත් ඇමැති සී. බී. රත්නායක මහත්වරුද මෙහි වෙති.
ඡායාරූපය- සමන්ත වීරසිරි

ග්‍රාමීය ජනතාවට මෙන්ම තරුණ ප්‍රජාවට හැකි උපරිම ලෙස සේවය කිරීම සිය අපේක්‍ෂාව බව තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතා නාමයෝජනා සම්මුඛ පරීක්‍ෂණයට ඉදිරිපත් වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පැවසීය.

තරුණ පරපුර සතු දැනුම කුසලතාව උපයෝගි කර ගනිමින් රට නව දිශාවක් කරා ගමන් කරවීමේ හැකියාව පවතින බවත් තමන් ඒ වෙනුවෙන් කැප වන බවත් නාමල් රාජපක්ෂ මහතා සඳහන් කෙළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ මහතා සඳහන් කෙළේ තමන් උපන් දිස්ත්‍රික්කය වන හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමින් සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වන බවයි.

එමෙන්ම ග්‍රාමීය ජනතාවට සේවය කිරීම සඳහා තමන් හට නාම යෝජනා හිමිවේ යැයි තමන් විශ්වාස කරන බවත් රාජපක්ෂ මහතා සඳහන් කෙළේය.

කුඩා කළ සිටම සිය නිවස තුළ පැවැතියේ දේශපාලන වටපිටාවක් වන අතර රාජපක්‍ෂ පවුලේ තෙවැනි පරම්පරාව නියෝජනය කරමින් තමන් දේශපාලනයට අවතීරණය වන බවත් ඒ මහතා සඳහන් කෙළේ ය.

සිය දේශපාලන ජීවිතයේ පෙරගමන්කරු මෙන්ම මඟ පෙන්වන්නා වන්නේ සිය පියා වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බවත් ජනාධිපතිවරයා තමන්ගේ පමණක් නොව සමස්ථ දේශයේම පෙරගමන්කරු බවත් පැවැසීය.

කෙසේ වුවද සිය දේශපාලන ජීවිතයේදී ආදර්ශවත් වූ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරයක නිරත වීමද සිය අපේක්ෂාව බවත් නාමල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවැසීය.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා