ජනාධිපති කාර්යාලය රාජ්‍ය සේවයට ආදර්ශයක් විය යුතුයි

රට සංවර්ධනය කිරීමේ අභියෝගය විශාලයි

ජනාධිපති කාර්යාලය රාජ්‍ය සේවයට ආදර්ශයක් විය යුතුයි

නව වසරේ වැඩ අරඹමින් ජනපති කියයි

රට සංවර්ධනය කිරීමේ අභියෝගයෙන් වැඩි කොටසක් පැවැරී තිබෙන ජනාධිපති කාර්යාලය අනෙකුත් රාජ්‍ය සේවකයන්ට ආදර්ශයක් විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

“ජනාධිපති කාර්යාලයේ සේවය කරන්නට ලැබුණු ඔබ වාසනාවන්තයන් පිරිසක්. ඒ වාසනාවෙන් අනෙක් අයගේ ජීවිත වාසනාවන්ත කරන්නට කැප විය යුතු” යැයි ද ජනාධිපතිවරයා අවධාරණය කෙළේ ය.

ජනාධිපතිවරයා මේ අදහස් පළ කෙළේ ජනාධිපති ලේකම් කාර්යාලයේ නව වසරේ රාජකාරී කටයුතු ඇරැඹීමේ අවස්ථාවට ඊයේ (3) එක් වෙමිනි.

සර්ව ආගමික වතාවත් මධ්‍යයේ නව වසරේ රාජකාරී කටයුතු ඇරැඹුණේ “මෙත් සිතින් රාජ්‍ය සේවයේ යෙදෙමු” යන්න පෙරදැරි කර ගෙන ය.

ත්‍රස්තවාදය ජය ගැනීමේ අභියෝගයට වඩා රට සංවර්ධනය කිරීමේ අභියෝගය විශාල බව පැවැසූ ජනාධිපතිවරයා නව වසරේ අප හමුවේ ඇති ඒ විශාල අභියෝගය ජය ගන්නට කැප වන ලෙස ඉල්ලා සිටියේ ය.

ජනාධිපති කාර්යාලයේ ක්‍රියාකාරිත්වය මත අනෙක් කාර්යාලවල ක්‍රියාකාරිත්වයත් රඳා පවතින බව කී ජනාධිපතිවරයා එබැවින් එහි සේවය කරන සියලු දෙනා මෙත් සිත්ව ජනතාවට සේවය කළ යුතු බව පැවැසීය.

“ඔබ කරන සේවය පිළිබඳ ඔබ තෘප්තිමත් විය යුතුයි. සවස නිවසට ගොස් ජනතාවට සේවයක් කළා ද හිතන්න. එවිට ඔබේ හදවත කියාවි ඔබ ඔබේ යුතුකම් රට ජාතිය වෙනුවෙන් ඉටු කළා” කියලා ඒ නිසා මේ රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් අනෙක් අයට ආදර්ශයක් වන පරිදි සේවය කරන්න” ජනාධිපතිවරයා ඉල්ලා සිටියේ ය.

අද ඉටු කළ යුතු කාර්යය හෙටට කල් නොදැමිය යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා මේ රටේ ශක්තිමත් රාජ්‍ය සේවයක් ඇති බවත් ඔවුන් ජනතාවගේ සුබසිද්ධිය උදෙසා කටයුතු කරනු ඇතැයි තමා විශ්වාස කරන බවත් සඳහන් කෙළේ ය.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක් වූහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා