පිළිකා සුවකරන බව පවසා ලක්‍ෂ ගණන් මුදල් ගරලා

පිළිකා සුවකරන බව පවසා ලක්‍ෂ ගණන් මුදල් ගරලා

සතිඅන්ත ජාතික පුවත්පත්වල රුපියල් ලක්‍ෂ ගණන් වියදම් කර වෙළඳ දැන්වීම් දමමින් පිළිකා රෝගය සුවකරන බවට ව්‍යාජ වෛද්‍ය ආයතනයක් පවත්වාගෙන යාමේ චෝදනා සම්බන්ධයෙන් වැලිගම ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු අත්අඩංගුවට ගැනීමට වැලිගම මූලස්ථාන පොලිසිය මගින් ඊයේ (03) ගත් උත්සාහය අසාර්ථක විය.

එම ආයතනයේ කළමනාකරු අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු මේ ආයතනය කාලයක් තිස්සේ පවත්වා ඇති අතර, කිසියම් ගුප්ත බලවේගයකින් හා දේව හාස්කමකින් පිළිකා සුව කරන බවට විශාල ප්‍රසිද්ධියක් ද විවිධ මාධ්‍ය මගින් ප්‍රචාරය කර ඇත.

ශ්‍රී ලංකා යුද හමුදාවේ උසස් නිලධාරියකුගේ ඥාති මවක් පිළිකා රෝගයෙන් සුවකර ගැනීම සඳහා මොහු රුපියල් ලක්ෂ 15ක මුදලක් ලබාගෙන ඇත.

වැලිගම පොල්වතුමෝදර ප්‍රදේශයේ සිය වෛද්‍ය ආයතනයේදී මේ මුදල ලබාගෙන ඇත්තේ ස්ථිර වශයෙන් පිළිකා රෝගය සුවකරන බවට ගිවිසුමක්ද සහිතවය.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් නිලධාරීන් පැමිණෙන අවස්ථාවේදී හෙතෙම පැන ගොස් ඇතැයි වාර්තාවේ.

එම සැකකරුගේ සියලුම කටයුතු සිදුකරන කළමනාකරු වන ඒ. සම්පත් යන අය වැලිගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ අද (04) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇතැයි වැලිගම මූලස්ථාන පොලිස් පරීක්‍ෂක එස්. සොයිසා මහතා ‘දිනමිණ’ට පැවැසීය.

ශ්‍රීලනිපයෙන් තරග කොට වැලිගම ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු වූ ඔහු පසුගිය දකුණු පළාත් සභා මැතිවරණයේදී එජාප අපේක්ෂකයෙකු වශයෙන් තරගකර පරාජයට පත්විය. මේ අතර ජලසම්පාදන මණ්ඩලයේ නළජල පද්ධතියෙන් පොල්වතුමෝදර සිය නිවසට අනවසරයෙන් ජලය ලබාගෙන රුපියල් ලක්ෂ 05ක අලාභ චෝදනාවකට ද මොහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇත.

ඒ වෙනුවෙන් ඔහුගේ බිරිය අත්අඩංගුවට ගෙන මාතර මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර ඇත. අධිකරණයේ නියෝගයෙන් රුපියල් දසලක්ෂයක ශරීර ඇප මත ඇය මුදාහැර ඇත.

මේ අතර මේ සැකකරුට විරුද්ධව තවත් පොලිස් ස්ථාන කිහිපයකට පැමිණිලි ලැබී ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා