බීමත්කමින් රෝහල් ගතවන අයගේ බිල අය කරන චක්‍රලේඛය නිකුත්වේ

බීමත්කමින් රෝහල් ගතවන අයගේ බිල අය කරන චක්‍රලේඛය නිකුත්වේ

බීමත්කම නිසා හදිසි අනතුරුවලට ලක්ව රෝහල්ගතවන රෝගීන්ගෙන් රෝහල් බිල අය කර ගන්නා චක්‍රලේඛය ඉදිරි සති දෙක තුළදී නිකුත් කෙරේ.

බීමත්කම නිසා රෝගී වන පුද්ගලයන්ගෙන් මුදල් අයකර ගැනීමේ යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රථම අදියර ලෙස බීමත්ව හදිසි අනතුරුවලට ලක්වන පුද්ගලයන්ගෙන් මෙසේ මුදල් අයකර ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇතැයි සෞඛ්‍ය ඇමැති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.

මාලිගාවත්ත වෘක්කවේද කාන්දු පෙරීම සහ වකුගඩු බද්ධ කිරීමේ ජාතික මධ්‍යස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් ඇමැතිවරයා මේ බව ඊයේ (3දා) පැවැසුවේය.

හදිසි අනතුර සිදුවීමට හේතුව බීමත්කම යැයි වෛද්‍යවරයා තීරණය කළොත් එම රෝගියාට ප්‍රතිකාර ලබාදෙන රෝහල් බිල මෙසේ අයකර ගනියි.

මෙලෙස අයකර ගන්නා මුදල රෝහල් සංවර්ධන අරමුදලට බැර කරන බව ද ඇමැතිවරයා කීය.

රෝහලේ සංවර්ධන කටයුතුවලට එම මුදල් යොදා ගනිමින් රෝහලේ සත්කාර සේවාවන් වැඩිදියුණු කිරීමට ද මෙමඟින් සෞඛ්‍ය අමාත්‍යාංශය බලාපොරොත්තු වේ. මෙලෙස මුදල් අයකර ගැනීමේ අරමුණ රටේ භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම නොව මද්‍යසාර භාවිතය අවම කිරීම බව ද ඇමැතිවරයා පැවැසුවේය.

මද්‍යසාර භාවිතය හේතුවෙන් හිතාමතා ලෙඩවන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීමට විශාල මුදලක් වැයවන බවත් මහජන මුදල් මෙසේ වැය කිරීමට සිදුවීම අනවශ්‍ය වියදමක් බවත් ඇමැතිවරයා අවධාරණය කළේය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා