දියට පනිනවා වගේ අත්දෙක පෙරට දමා බසයට පැන්නා

දියට පනිනවා වගේ අත්දෙක පෙරට දමා බසයට පැන්නා

බසයට පැන දිවි නසාගත් අයගේ මරණ පරීක්ෂණයේ දී රියැදුරු පවසයි

‘පාර අයිනේ තණගොල්ලේ සිටි අයෙක් එකපාරටම අත්දෙක පෙරට දමා දියට පනිනවා වගේ ධාවනය වන බස් රථයට පැන්නා.

තුවාල ලැබූ ඔහු ත්‍රීරෝද රථයකින් රෝහලට ගෙන යද්දී ඇයි බස් එකට පැන්නේ කියා ඇසූ විට ප්‍රශ්න ගොඩක් තිබුණා යයි ඔහු අමාරුවෙන් කීවා.

ධාවනය වන බස්රථයක් ඉදිරියට පැන සියදිවි නසාගත් යටියන්තොට පොලංගම වත්තේ පරුස්සැල්ල කොටසේ මුරුගයියා මොහාන්දාස් නම් අයෙකුගේ හදිසි මරණ පරීක්ෂණයේ දී සාක්කි දුන් අනතුරටපත් බස් රථයේ හිමිකරු හා රියදුරු වන පාලිත විමලසිරි මහතා පැවසීය.

රුවන්වැල්ල මහේස්ත්‍රාත් සුදත් ගොපල්ලව මහතාගේ නියෝග පරිදි කරවනැල්ල මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු එච්. එම්. ජි. ඩබ්ලිව්. පරුස්සැල්ල මහතා ඉදිරියේ දී පසුගිය 28 දා පැවති මෙම පරීක්ෂණයේදී තවදුරටත් සාක්ෂි දුන් මෙම සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

මම දැනට වසර හතක පමණ කාලයක සිට පැලැම්පිටිය අවිස්සාවේල්ල මාර්ගයේ මට අයත් වාහන වලින් මගී ප්‍රවාහනයේ යෙදෙනවා. එහෙත් කවදාවත් මීට පෙර අනතුරකට පත්වී නෑ.

පසුගිය 26 දා පෙරවරු 10.20 ට පමණ මම මට අයත් අංක 60 ශ්‍රී 5829 දරන බස් රථයෙන් පැලැම්පිටියේ සිට අවිස්සාවේල්ල බලා ගමන් ඇරඹුවා. බස් රථයේ ආසන සියල්ලම මගීන්ගෙන් පිරී තිබුණ අතර තවත් 15ක පමණ පිරිසක් බසයේ හිටගන ද ගමන් කළා. යටියන්තොට නගරය දෙසට යද්දී අංක 4/9 බෝක්කුව පසුකරනවාත් සමගම මියගිය අය එකපාරටම බස්රථයට පැන්නා. මම බස්රථය පහළින් ඔය පැත්තට හරවා ඔහු මගහරින්න උත්සාහ කළත් ඔහු බසයේ හැපී බසයටම යටවුණා.

මියගිය අයගේ මව වන සුප්පයියා සිංගමලම් මහත්මිය (66) මෙසේ පැවැසුවාය.

බස් එකේ හැපී මියගියේ මගේ හතරවන පුතායි. ඔහු මීමැස්මොර රෝගයෙන් පෙළෙනවා. ඔහුගේ බිරිය දරුවා සමඟ මීට වසරකට පමණ පෙර ඔහුගෙන් වෙන්වී ගියා.

ඇය අනියම් පුරුෂයාද සමග මේ වන විට විදේශ රැකියාවක යෙදී සිටිනවා. මරණය පිළිබඳ මට සැකයක් නෑ. ඔහුගේ අවසාන කටයුතු මම බාරගන්නවා.

සිද්ධිය ඇසින් දුටුවෙකු ලෙස එම බස්රථයේ ගමන් කළ පැලැම්පිටියේ ඩබ්ලිව්. ප්‍රියන්ත විජේසූරිය මහතා ද (30) මෙහි දී සාක්ෂි දෙනු ලැබූ අතර මළ සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කරවනැල්ල මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය ඒ. ඒ. එන්. නිසාඩ් මහතා විසින් සිදුකරනු ලැබීය.

යටියන්තොට පොලිස් ස්ථානාධිපති මලන්තද සිල්වා මහතාගේ උපදෙස් පරිදි පො. සැ. අරුණ ශාන්ත සාක්ෂි මෙහෙයවීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා