කැවුම් කිරිබත් සංග්‍රහ මැද නව වසරේ රාජකාරි ඇරැඹේ

කැවුම් කිරිබත් සංග්‍රහ මැද නව වසරේ රාජකාරි ඇරැඹේ

ශ්‍රී ලංකාව, සංවර්ධිත රටක් බවට පරිවර්තනය කිරීමට “ඔව් අපට පුළුවන්!” යන හැඟුම ඇතිව නව දශකයේ පළමු වසරේ පළමු රාජකාරි දිනය වූ ඊයේ (03) සියලු රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල පිරිස් කැවුම් කිරිබත් සංග්‍රහ මැද රාජකාරි ඇරඹූහ.

මහින්ද චින්තන ඉදිරිදැක්ම වැඩපිළිවෙළ සාර්ථකව ක්‍රියාවට නැංවීමට නව වසරේ කැපවෙමු යන හැඟුම ඇතිව රාජ්‍ය අංශ සේවකයෝ ඊයේ වැඩ ආරම්භ කළහ.

පෞද්ගලික අංශ දායකත්වය මතින් වඩාත් සංවර්ධිත රටක් ශ්‍රම බළකායක් ගොඩනඟමු යන්න එම අංශයේ ආයතනවල සේවක පිරිස හාම්පුත්තු වැඩඅරඹමින් ප්‍රාර්ථනා කර ගත්හ.

ජනාධිපති ලේකම් කාර්යාලය, මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යාංශය පටන් රටේ සියලුම අමාත්‍යාංශවල ජාතිත ධජ ඔසවා නව වසරේ රාජකාරි ඇරඹීමේ කෙටි උත්සව පැවැත්විණි. ඊට අමතරව ඒ ඒ අමාත්‍යාංශවලට අයත් විවිධ දෙපාර්තමේන්තු සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල, හා සෙසු සියලු ආයතනවල වැඩ ඇරඹීමේ උත්සව සභා පැවැත්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුව, මහජන බැංකුව, ලංකා බැංකුව හා සෙසු මුල්‍ය හා බැංකු අංශ ආයතනවල සර්ව ආගමික ආශිර්වාද වත්පිළිවෙත්වලට මුල්තැන ලබාදෙමින් එහි ප්‍රධානීහු සේවක පිරිස් වැඩ ආරම්භ කළහ.

පුරා වසර තිහක් තිස්සේ අප රට වෙළාගත් මහා බියකරු ත්‍රස්තවාදී උවදුරින් මිදුණු සාමකාමී රටක් වර්තමානයේ බිහි වී තිබේ. යුද බිය නැති සාමකාමී, රටක, ආර්ථික අංශ දියුණුවට ඉතා අත්‍යවශ්‍ය පසුබිම මේවනවිට සකස් වී ඇතැයි මේ සියලු කෙටි උත්සව සභාවලින් හඬ නැඟුණි.

“අප ලෝකයේ උතුම්ම රටක්. අපිට ඉහළ හැකියාවන්ගෙන් යුතු මානව සම්පතක් සිටිනවා. ස්වභාවික සම්පත් බහුලයි’ අපි දැඩි කැපවීමෙන්, විනය ගරුකව, එක් ඉලක්කයක් අරමුණක් කරා මහන්සි වී වැඩ කොට රට ගොඩනඟමු මේ සෑම තැනකදීම කියැවිණි.

වත්මන අපේ රට ආර්ථික අතින් පැහැදිලි සුබවාදී ගමනක් යාමට මුලපුරා තිබෙනවා.

ඒක පුද්ගල ආදායම,ආර්ථික වර්ධන වේගය, වැඩි වී තිබෙනවා. විරැකියාව, දුප්පත්කම උද්ධමනය අඩුවී තිබෙනවා. මේ බව ලෝක බැංකුව, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක ආර්ථිත ක්ෂේත්‍ර විශේෂඥයින් පවා පිළිගන්නා කරුණක්. අපිට ආඩම්බර විය හැකි සාමකාමී රටක් දැන් තිබෙන්නේ. අපි අපේ වගකීම් යුතුකම් මැනැවින් හඳුනාගෙන වැඩ කරමු. රට ගොඩනඟමු ! යැයි මේ සියලු උත්සව සභාවන්වලට එක්වූ සැමදෙනා සිතට ගත්හ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා